පසුගිය වසර කිහිපයේ සිටම Apple සමාගම විසින් ඉන්දියාවේ දේශීයව iPhone නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින අතර එමඟින් ඉන්දියානු iPhone පරිශීලකයින් හට තීරුබදු රහිත iPhones ලබාදීමට සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

2017 වර්ෂයේ දී iPhone SE ඉන්දියාවේ දේශීය වශයෙන් නිශ්පාදනය වූ පළමු iPhone දුරකතනය බවට පත්වූ අතර iPhone 6s, iPhone 7, iPhone XR සහ iPhone 11 ඉන්දියාවේ නිශ්පාදනය කර ඇති තවත් iPhone මාදිලි කිහිපයකි.

පසුගිය ජුනි මාසයේදී Apple සමාගම විසින් iPhone SE (2020) මාදිලියේ නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුළ ආරම්භ කරනු ඇති බවට කටකතා ඇති වූ අතර, මේ වනවිට iPhone SE (2020) නිෂ්පාදනය ඉන්දියාව තුළ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවට Apple සමාගම විසින් The Times of India වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව මෙය ඉන්දියාවේ එක්ලස් කරනු ලබන හයවන iPhone ජංගම දුරකථනය බවට පත්වන බව GSM Arena වෙබ් අඩවිය විසින් පෙන්වා දෙනවා.

Apple iPhone SE (2020)

iPhone SE (2020) ජංගම දුරකතනය පසුගිය මාර්තු මාසයේදී නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කල අතර දුරකතනය අලෙවි වීම මැයි මාසයේ දී ඉන්දියාවේ ආරම්භ වන විට එහි මිල ඉන්දියානු රුපියල් 38,900 ක් වූ නමුත් දැනට එය Flipkart වෙබ් අඩවියේ ක්‍රියාත්මකවන Apple Days වැඩසටහන හරහා ඉන්දියානු රුපියල් 35,999 ක් වැනි මුදලකට ලබා ගත හැකියාව පවතිනවා.

මෙසේ ඉන්දියාව තුළ iPhone SE (2020) නිෂ්පාදනය කිරීමත් සමග නුදුරු අනාගතයේ දී එහි මිල ඊටත් වඩා පහත වැටෙනු ඇත.

එමෙන්ම ඉන්දියාවේ එකලස් කරනු ලබන iPhone SE (2020) ජංගම දුරකතන ඉක්මනින් වෙළඳපොලට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 2021 මැද භාගය වන විට iPhone 12 ජංගම දුරකතන නිෂ්පාදනයද ඉන්දියාවේ ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඉන්දියාවේ smartphone නිෂ්පාදකයින් තම මාදිලි වෙනත් වෙළඳපලවලින් ආනයනය කිරීම සඳහා 20% ක ආනයන බද්දක් ගෙවිය යුතු වන අතර, ඉන්දියාවේ iPhone එකලස් කිරීමෙන් Apple සමාගමට එම ආනයන බද්ද මග හැරෙනු ඇත.

මේ හේතුව නිසාවෙන් ඉන්දියාවේ ජංගම දුරකථන වෙළඳපොල දැවැන්තයින් වී සිටින චීන ජංගම දුරකථන නිශ්පාදකයින් වන Xiaomi වැනි සමාගම් ද ඔවුන් හට අවශ්‍යය ජංගම දුරකථන ඉන්දියාව තුළ ම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය, Times Of India වෙබ් අඩවිය සහ MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.