2019 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ high-end iPhone ජංගම දුරකථන ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ සඳහා කවුරුත් දන්න Foxconn සමාගමේ සහාය ලබා ගැනීමට Apple සමාගම බළාපොරොත්තු වන අතර මේ වන විටත් ඔවුන්ගේ චීනයේ පිහිටි කර්මාන්තශාලා වල iPhone නිෂ්පාදනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් සිදු කරනු ලබනවා.

කොහොම වුණත් ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම Apple සමාගම 2017 වර්ෂයේ පමණ සිට සිදු කළ නමුත් මේ වනතුරු එහි නිෂ්පාදනය කරනු ලැබුවේ iPhone SE වැනි මිලෙන් අඩු ජංගම දුරකථන පමණයි.

කොහොම නමුත් මේ අලුත් තත්ත්වයත් සමඟ මිලෙන් වැඩි high-end smartphone වන iPhone X, XS සහ XR ජංගම දුරකථන ඉන්දියාව තුලම නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම් වෙනවා.

මෙයට ප්‍රධාන හේතුව වශයෙන් දැනගන්නට ලැබෙන්නේ ඉන්දියානු රජය විසින් එරටට ආනයනය කරනු ලබන ජංගම දුරකථන සඳහා විශාල බද්දක් අය කලත්, එරටට ගෙන්වන ජංගම දුරකථන කොටස් සඳහා අඩු බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීමයි.

ඉන්දියාව තුල නිෂ්පාදනය කළ ජංගම දුරකථන වලට අය කරනු ලබන බදු මුදල ඉතාමත් අඩු නිසාවෙන් අඩු මිලට iPhone අලෙවි කිරීමට Apple සමාගමට මේ හරහා අවස්ථාව ලැබෙන අතර Samsung, Xiaomi වැනි අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් සඳහා Apple සමාගම විසින් අභියෝගයක් ඉදිරිපත් කිරීමට මේ හරහා අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.