Apple සමාගම විසින් iPhone XS සහ XR ජංගම දුරකථන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව පසුගිය දෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

විශේෂයෙන්ම ඉන්දියානු වෙළඳපොල ඉලක්ක කරගනිමින් ඉන්දියාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කිරීම ආරම්භ කළත්, මේ වන විට, ඉන්දියාවේ පිහිටි Foxconn නිෂ්පාදනාගාර වල නිෂ්පාදනය කරනු ලැබූ iPhone ජංගම දුරකථන යුරෝපයීය රටවල් වල වෙළඳපොලට ද නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් තවමත් චීන නිෂ්පාදනාගාර වලට සාපේක්ෂව ඉන්දියානු නිෂ්පාදනාගාර වල ඉතාමත් අඩු වේගයකින් නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන නමුත්, devices 100,000ක් පමණ මේ වන විට යුරෝපයට නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

දැනට iPhone 6s සහ iPhone 7 මාදිලි පමණක් මෙලෙස අපනයනය කිරීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී iPhone 11 ඇතුළු අනෙකුත් මාදිලි ද අපනයනය කිරීමට බළාපොරොත්තු වන බව වාර්ථා වෙනවා.

මේ වන විට චීනය සහ ඇමෙරිකාව අතර ඇති වී තිබෙන ආර්ථික යුද්ධය නිසාවෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල වලින් ගැලවී සිටීමට මේ ඉන්දියානු නිෂ්පාදනාගාර Apple සමාගමට සහාය වනු ඇති බවත්, ඉදිරියේදී මෙය Apple සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනාගාරයක් වන ඇති බවත් විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.