AI, එහෙමත් නැතිනම් Artificial Intelligence කියන්නේ මේ වන විට ඉතාමත් වේගයෙන් දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයක් වගේම අපි නොදැනුවත්වම අපිට අදාල ගොඩක් දේවල් දැනටමත් සිදු කරනු ලබන තාක්ෂණයක්.

මීට කලින් AI එකක් විසින් අඳින ලද පළමු සිතුවම ගැන මෙන්ම AI එකක් විසින් නිර්මාණය කරන ලද පළමු Game trailer එක පිළිබඳව ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන්, ThisPersonDoesNotExist.com කියන වෙබ් අඩවිය හරහා නිමක් නොමැතිව ලොව කිසිඳු පුද්ගලයෙකු සතු නොවන, එනම් අලුතින්ම නිර්මාණය කරන ලද මුහුණු ඇති තරම් නිර්මාණය කිරීමට හැකි ක්‍රමයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

Uber සමාගමේ සේවය කරන Software Engineer කෙනෙකු වන Philip Wang විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන අතර මේ සඳහා Nvidia සමාගම විසින් පසුගිය වසරේ සිදු කරනු ලැබූ research එකක ප්‍රතිඵල භාවිතා කර තිබෙනවා.

මේ වෙබ් අඩවියට ගොස් refresh කරන සෑම වාරයක් පාසාම අලුත් මිනිස් මුහුණක් නිර්මාණය කිරීමට මේ AI System එක කටයුතු කරනු ලබන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙහි අන්තර්ගත වන තාක්ෂණය Ian Goodfellow නම් වූ පරීක්ෂකයෙක් විසින් මුලින්ම නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන අතර Nvidia සමාගම විසින් මෙහි algorithm එක ලබාගෙන එය open source කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ආකාරයේ තාක්ෂණයක් භාවිතා කර නිර්මාණකරුවන් හට තම නිර්මාණ ගැන අලුතින් සිතන්නට අවස්ථාව ලැබෙන නමුත්, මේ හරහා deepfakes, එනම් හඳුනාගැනීමට අපහසු ආකාරයේ ව්‍යාජ පුවත් ආදිය නිර්මාණය කිරීමේ හැකියාවක් ද පවතින බැවින් මෙය ඉතාමත් ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා lyrn.ai වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.