Gaming ගැන කතා කරන විට හැම කෙනෙක්ම හොඳින් හඳුනන Nvidia සමාගම විසින් ඔන්න අමුතු විදිහේ වැඩක් කරන්න සමත් වෙලා තියනවා.

ඔයාලට මතක ඇති අපි ටික කාළයකට කලින් ලොව ප්‍රථම AI Portrait එක ගැන ඔයාලව දැනුවත් කරන්න කටයුතු කළා. මේ කියන්න යන news එකත් ඊට ටිකක් සමාන බවක් පෙන්වනවා.

කෘතීම බුද්ධිය එහෙමත් නැතිනම් Artificial Intelligence භාවිතා කරමින් සාමාන්‍යය video එකක් මගින් 3D models නිර්මාණය කළ හැකි ක්‍රමයක් සහ ඒ මගින් නිර්මාණය කළ game demo එකක් එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව සාමාන්‍යයෙන් game development කිරීමේදී මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබන 3D models තනිවම නිර්මාණය කරගැනීමට මෙම තාක්ෂණය හරහා අවස්ථාව ලැබෙනවා. AI deep neural network භාවිතා කරමින් සාමාන්‍යය video එකක් analyze කර, එහි අන්තර්ගත වන elements හඳුනාගෙන ඒවා අලුත් 3D පරිසරයක ප්‍රතිනිර්මාණය කිරීමට මෙයට හැකියාව තිබෙනවා.

මෙම process එකේදී video එකේ අන්තර්ගත වන සෑම frame එකක්, එහෙමත් නැතිනම් රූප රාමුවකම අන්තර්ගත වන අහස, මෝටර් රථ, ගස්, පාරවල් සහ ගොඩනැගිලි වැනි දෑ හඳුනාගෙන කලින් ලබාදෙන දත්ත සාම්පල අනුසාරයෙන් මේවා ප්‍රතිනිර්මාණය කිරීම සිදු කෙරෙනවා.

මෙලෙස හඳුනාගන්නා සෑම frame එකකම තිබෙන elements සහ ඒවායේ ඇති වර්ණ එකිනෙකට වෙනස් නිසා ඒවා එකිනෙක අතර සම්බන්ධතාවයක් පවත්වාගැනීම මොවුන්ට අපහසු වී තිබෙනවා. මේ වෙනුවෙන් කෙටි කාළසීමාවක් තුලදී සිදුවන දෑ පිළිබඳ මතකයේ තබාගෙන, ඒ අතර සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකි ලෙස ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට Nvidia සමාගම කටයුතු කර තිබෙනවා.

ඔවුන් මේ අවස්ථාවේදී මෙලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ Fortnite, PUBG වැනි ප්‍රසිද්ධ games නිර්මාණය කිරීමට භාවිතා කර ඇති Unreal Engine 4 කියන game engine එකයි.

එමෙන්ම මේ සරළ driving simulator demo එක නිර්මාණය කිරීම සඳහා Nvidia සමාගමේ මේ වන විට නිෂ්පාදනය කර ඇති බළගතුම GPU එක ලෙස සැළකෙන Nvidia Titan V කියන GPU එක භාවිතා කර තිබෙනවා.

කොහොම වුණත් මේ තාක්ෂණය තවමත් මූලික අවධියේ තිබෙන බවත්, මේ මගින් කරනු ලබන නිර්මාණයක් සාමාන්‍යය ජනතාව අතරට ඒමට තව බොහෝ කාළයක් ගතවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Nvidia වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tom's Hardware වෙබ් අඩවිය භාවිතා කළ හැක.