ලොව විශාලතම smartphone නිෂ්පාදකයෙකු වන Huawei සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින් යොදා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ processor chips අවසන් වෙමින් පවතින බව The Associated Press වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලබනවා.

Huawei සමාගමෙහි පාරිභෝගික ව්‍යාපාර ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී Richard Yu විසින් ප්‍රකාශ කරන පරිදි, එක්සත් ජනපදයේ අඛණ්ඩ ආර්ථික පීඩනය හේතුවෙන් ලබන මාසය වන විට Huawei සමාගමට තමන්ගේම Kirin chipsets නිපදවීමට නොහැකි වනු ඇති බවයි.

මෙම තත්වය නිසා මේ වසර Huawei Kirin high-end chips වල අවසාන පරම්පරාව විය හැකි අතර මීළඟ සැප්තැම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිතව ඇති Huawei Mate 40 ජංගම දුරකථනය HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනයද වනු ඇති බව වාර්ථා වුණා.

HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40 ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයි
Huawei සමාගම සහ ඇමෙරිකානු වෙළඳ තහනම ගැන දැනටමත් ඔබ බොහෝ කරුණු දන්නවා ඇති අතර,පසුගිය මැයි මාසයේදී Huawei සමාගමට අයත් HiSilicon ආයතනය සමඟින් ARM ආයතනය වෙළඳසබඳතා අවහිර කිරීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Huawei සමාගමේ HiSilicon chipset නිෂ්පාදනය අඩපණ කරමින් ARM ආයතනය ද වෙළඳ සබඳතාඅවහිර කරයිGo…

මේ අතර එක්සත් ජනපදය පදනම් කරගත් Qualcomm සමාගම විසින්, Huawei සමාගම වෙත පනවා ඇති අලෙවි කිරීමේ සීමාවන් වෙනුවෙන් බළපත්‍රයක් නිකුත් කරන ලෙස Trump පරිපාලනයට බලපෑම් කරනු ලබන බව Wall Street Journal වෙබ් අඩවිය විසින් පෙන්වා දෙනවා.

Qualcomm සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ exports තහනම් කිරීම මගින් Huawei සමාගම නැවැත්විය නොහැකි බවත්, ඒ වෙනුවට ඩොළර් බිලියන 8ක පමණ දැවැන්ත වෙළඳ අවස්ථාවක් ඔවුන්ගේ තරඟකරුවන් වන MediaTek සහ Samsung සමාගම අතට පත් වන බවත් ය.

මීට පෙර සඳහන් කළ ආකාරයට Kirin chipsets නිෂ්පාදනය කිරීම අඩපණ වී ඇති මෙවැනි අවස්ථාවකදී එම අඩුව පිරවීම සඳහා Snapdragon chipsets අලෙවි කිරීමට හැකියාව ලැබුණහොත් ඒ හරහා අති විශාල ආදායමක් ලබාගැනීම හැකියාව ලැබෙනු ඇති බව Qualcomm සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් Huawei සමාගම මේ වන විටත් MediaTek සමාගමේ flagship chipset series එක වන MediaTek Dimensity chipsets භාවිතා කරමින් අත්හදාබැලීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Wall Street Journal වෙබ් අඩවිය භාවිතා කළ හැක.