Tesla සමාගම වර්තමානයේ අති නවීන තාක්ෂණය සම්බන්ධයෙන් බොහෝ ඉදිරියෙන් සිටින සමාගමක් වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ අතර කුඩා ළමුන් සඳහා smartwatch නිපදවන නෝර්වීජියානු සමාගමක් වන Xplora සමාගම විසින් නව smartwatch එකක් සඳහා Federal Communication Commission (FCC) එක වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයක එම ව්‍යාපෘතිය සඳහා Tesla සමාගමද සම්බන්ධ බව සඳහන් වී තිබෙනවා.

ඒ නිසා Tesla සමාගම නුදුරේදීම smartwatch ක්ෂේත්‍රයටද පිවිසෙනු ඇති බව මේ පිළිබඳ අදහස් පළ කරන බොහෝ විශ්ලේෂකයින් මත පළකර සිටිනවා.

Tesla සමාගම වර්තමානයේ විදුලි මෝටර් රථ නිශ්පාදනයේ අතිශය සාර්ථක සමාගමක් වන අතර එවැනි සමාගමක් smartwatch ක්ෂේත්‍රයට පිවිසෙන්නට සූදානමින් සිටීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබෙනවා.

මෙහිදී සඳහන් කර ඇති එක පැහැදිලි කිරීමක් අනුව Tesla සමාගම විසින් Xplora සමාගම මිලදීගැනීමට සූදානමින් සිටිනවා හෝ දැනටමත් එසේ කර ඇති බව අනුමාන කළ හැකි බව Gizmochina වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එමෙන්ම සිය Tesla මෝටර් රථ, smartwatch ඔස්සේ control කිරීමට හැකියාව ලබාදීමට Tesla සමාගම සූදානම් වන බව මේ පිළිබඳ අදහස් පළ කරන ඇතැමුන් අනුමාන කරනවා.

Apple WatchOS හරහා Tesla මෝටර්රථ වල ඇතැම් පහසුකම් පාලනය කිරීමේ හැකියාව දැනටමත් ලබා දී තිබෙන බැවින්, තමන්ගේම smartwatch එකක් මඟින් එම හැකියාවන් වැඩිදුරටත් දියුණු කිරීමට Tesla සමාගම සූදානම් වන බව දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ MyHealthyApple වෙබ් අඩවිය භාවිතා කළ හැක.