ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL එක) මඟින් සිය වෙබ් අඩවිය සහ නිළ Facebook පිටුව හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) විදුලි සංදේශ උපකරණ දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටුවීමට කටයුතු කරනු ලබන බවයි.

මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි ඔබ විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ...

Posted by Telecommunications Regulatory Commission of Sri Lanka on Monday, August 10, 2020

මෙම වාරණය දැනට ඔබ භාවිතා කරන සිම්පත් සහිත උපකරණ සඳහා අදාල නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇති අතර මෙම පියවර ගැනීමට මූලික හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින් හට ව්‍යාජ උපාංග මිලදීගැනීමෙන් සිදු වන අපහසුතාවයන් අවම කිරීමට මේ හරහා හැකියාව ලැබීමයි.

මේ නිසා ඉදිරියේදී ඔබ මිලදී ගන්නා ජංගම දුරකතන TRCSL ආයතනයේ අනුමැතිය සහිත ජංගම දුරකතනයක්ද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන අතර, ඔබ අලුත් ජංගම දුරකථනයක් මිලදීගන්නේ නම් එහි ඊට අදාල අනු අංකය සහිත sticker එක දැකගත හැකි අතර භාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිලදීගන්නේ නම්, IMEI<space>ඉලක්කම් 15කින් යුතු IMEI number එක, (උදා: IMEI 123456789012345) ලෙස type කර 1909 යන අංකයට SMS පණිවිඩයක් යොමු කිරීමෙන් තහවුරු කරගත හැකි වෙනවා.

ඇතැම් අවස්ථා වලදී චීනය වැනි වෙනත් region එකකට අලෙවි කිරීම සඳහා නිකුත් කළ device එකකට international firmware flash කර ශ්‍රී ලංකාවට ගෙන්වා නැවත ඇසුරුම් කොට අලුත් ජංගම දුරකථන ලෙස අලෙවි කරනු ලබන බව බොහෝ දෙනා මැසිවිලි නගන අතර, මේ හරහා එම තත්ත්වය යම්තාක් දුරට අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම ඔබ විදේශගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයෙකු නම්, ඔබගේ ජංගම දුරකථනය සඳහා TRCSL අනුමැතිය ලබාගැනීමට සිදු වන අතර, Roaming පහසුකම භාවිතා කරනු ලබන විදේශිකයන් හට මෙම තත්ත්වයෙන් බළපෑමක් සිදු නොවනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මෙලෙස TRCSL අනුමැතිය ලබාගැනීමේදී අදාල device එක සඳහා අනුමත බදු ගෙවීම ද අනිවාර්යය වන නමුත්, ඔබ විදේශයක සිට පැමිණියේ නම්, ඔබගේ පෞද්ගලික ජංගම දුරකථනය එම බද්දෙන් නිදහස් වන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙහි නිළ Facebook පිටුව සහ TRCSL නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.