Facebook සේවාවේ මූලික සමයේදී Instant messaging, එහෙමත් නැතිනම් Chat පහසුකම Facebook වලම කොටසක් වූ අතර එය Facebook app එක හරහා ම භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබුණු බව ඔබට මතක ඇති.

කොහොම නමුත් 2011 වර්ෂයේදී මේ Chat පහසුකම Messenger නමින් වෙනත් app එකක් හරහා ලබා දීමට කටයුතු කළ Facebook සමාගම 2014 වර්ෂය වන විට තම ප්‍රධාන Facebook app එකෙන් එම පහසුකම ඉවත් කිරීමට කටයුතු කළා.

මේ තීරණය කෙරෙහි Facebook පරිශීලකයින් බෙහෙවින් විරුද්ධ වුවත්, එය මේ වන තුරු වෙනස් කිරීමට Facebook සමාගම කටයුතු කලේ නැහැ.

කොහොම නමුත් වසර 5කට පමණ පසු ඔන්න දැන්, මේ Messenger app එකේ තිබෙන instant messaging පහසුකම නැවතත් ප්‍රධාන Facebook app එකටම එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම මේ අලුත් පහසුකම හරහා Messenger, WhatsApp සහ Instagram කියන සේවා ත්‍රිත්වයටම හරහා instant messaging පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව වාර්ථා වෙනවා.

මේ WhatsApp, Messenger සහ Instagram සේවාවන් ඒකාබද්ධ කිරීම පිළිබඳව පසුගිය ජනවාරි මාසයේ අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති.

කොහොම නමුත් මේ අවස්ථාව වන විට මේ හරහා chat කිරීමේ පහසුකම පමණක් ලබා දී ඇති අතර message reactions, calls සහ photos යැවීම වැනි ක්‍රියාකාරකම් සඳහා Messenger app එක භාවිතා කළ යුතු බව මේ තොරතුරු වාර්ථා කළ Wong විසින් පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී අපි ඔබව දැනුවත් කළ පරිදි ප්‍රධාන Facebook app එකට සුදු පැහැයෙන් යුතු පෙනුමක් ලබා දීමට ද මොවුන් කටයුතු කර තිබෙන බව ඉහත screenshots හරහා සනාථ වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.