Apple සමාගම කියන්නේ Renewable Energy, එහෙමත් නැතිනම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම වෙනුවෙන් මේ වන විටත් හොඳ නමක් දරා සිටින ආයතනයක් බව ඔබ දන්නවා ඇති.

පසුගිය වසරේ ජුලි මාසයේදී Apple සමාගම විසින් මේ පුනර්ජනනීය බළශක්තිය වෙනුවෙන් අරමුදලක් ආරම්භ කිරීමට ද, ඔවුන්ගේ සියළුම නිෂ්පාදනාගාර වල මෙම පිරිසිදු බළශක්ති ප්‍රභවයන් මගින් බළගැන්වීමට බළාපොරොත්තු වන බව ද ප්‍රකාශ කරනු ලැබුවා.

එමෙන්ම The China Clean Energy Fund නම් වූ මෙම ව්‍යාපෘතිය හරහා 2020 වර්ෂය වන විට ගිගාවොට් 4ක විදුලි බලයක් උත්පාදනය කිරීමට සැළසුම් සකස් කර තිබුණු අතර, එම වර්ෂය වන විට ඉලක්කය සපුරා, තවත් ගිගාවොට් එකක පමණ බළයක් වැඩිපුර නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔන්න දැන්, Apple සමාගමේ විශාලතම සැපයුම්කරුවන් දෙදෙනෙකු වන Foxconn සමාගම හා TSMC සමාගමද ඇතුළුව නිෂ්පාදකයන් 15 දෙනෙකු මොවුන්ගේ නිෂ්පාදන කටයුතු සිදු කිරීමේදී මේ පුනර්ජනනීය බළශක්තිය භාවිතා කිරීම සඳහා එකඟ කරවාගැනීමට Apple සමාගම සමත් වෙලා තිබෙනවා.

මේ අනුව සම්පූර්ණ වශයෙන් Apple සමාගමේ සැපයුම්කරුවන් 44 දෙනෙකු මෙලෙස පුනර්ජනනීය බළශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට මේ වන විට එකඟ වී තිබෙනවා.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදී Apple සමාගමට අයත් සියළුම ස්ථානයන් සඳහා දැනටමත් සම්පූර්ණ වශයෙන් renewable energy භාවිතා කරන බව නිවේදනය කරනු ලැබුවත්, Apple සමාගමේ Carbon footprint එකෙන් 74%ක්ම පාහේ සිදු වන්නේ ඔවුන්ගේ නිෂ්පාදනාගාර වලදී බව CNBC වෙබ් අඩවිය පෙන්වා දී තිබුණා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා CNBC වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා නිළ Apple Newsroom එක භාවිතා කළ හැක.