Apple සමාගම විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු කරනු ලබන ඔවුන්ගේ hardware event එක, මෙවර ද සැප්තැම්බර් මාසයේ 10 වැනි දින, එනම් ඊයේ දිනයේ පැවැත්වීමට කටයුතු කළා.

මේ event එක අතරතුරදී ඔවුන්ගේ අලුත් iPhone ජංගම දුරකථන මාදිලි, iPad, Apple Watch ඇතුළු තවත් දේවල් රැසක් එළිදැක්වීමට ඔවුන් කටයුතු කළ අතර, මෙවර මෙහි keynote එක YouTube හරහා සජීවීව විකාශය කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණා.

Apple Arcade

පසුගිය මාර්තු මාසයේ පැවති Showtime event එක අතරතුරදී හඳුන්වා දුන් Apple Arcade gaming subscription එක සැප්තැම්බර් මාසයේ 19 වැනි දින සිට රටවල් 150ක සිටින iOS පරිශීලකයන් හට භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙන බවත්, මෙම සේවාවේ family subscription එක මාසයක කාලයකට ඇමෙරිකානු ඩොලර් 4.99ක් පමණක් වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව මෙම සේවාව සඳහා මාසයක free trial එකක් ද ලබා දෙනු ලබන බව වැඩිදුරටත් ඔවුන් පෙන්වා දුන්‍නා.

Apple TV+

Apple Arcade සේවාවට අමතරව එම event එක අතරතුරදීම හඳුන්වාදීමට කටයුතු කළ Apple TV+ සේවාව ද නොවැම්බර් මාසයේ පළමුවැනිදා සිට Apple Arcade සේවාව මෙන්ම family subscription එක ඇමෙරිකානු ඩොලර් 4.99ක මුදලකට මාසයක කාලයක් සඳහා ලබා ගත හැකි බවත් අලුතින් මිලදීගන්නා iPhone, iPad, Mac පරිගණක සහ Apple TV සඳහා මෙම සේවාව වසරක කාලයක් සඳහා නොමිලයේ ලබා දීමට කටයුතු කරනු ලබන බවද නිවේදනය කරනු ලැබුවා.

අඟල් 10.2ක අලුත් iPad එක

අඟල් 9.7ක් වූ පැරණි iPad එක වෙනුවට මෙවර iPad එක අඟල් 10.2ක ප්‍රමාණයකින් නිර්මාණය කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර, මෙයට Retina Display එකක් අන්තර්ගත කිරීමටත්, සම්පූර්ණ ප්‍රමාණයේ keyboard එකක් සම්බන්ධ කිරීම සඳහා connector එකක් අන්තර්ගත කිරීමටත් මොවුන් කටයුතු කර තිබෙනවා.

iPhone 7 එක වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලැබූ A10 Bionic chipset එක මේ අලුත් iPad එකේ අන්තර්ගත වන අතර, පැරණි iPad එක අලෙවි කිරීමට කටයුතු කළ මිල වන ඇමෙරිකානු ඩොලර් 329ට මේ අලුත් මාදිලියත් අලවෙි කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

Apple Watch Series 5

වසර තුනක දීර්ඝ නිහැඬියාවකට පසු පසුගිය වසරේ පැවැති hardware event එක අතරතුරදී Apple Watch series 4 එක හඳුන්වාදීමට Apple සමාගම මේ වසරේදී එහි මීළඟ සංස්කරණය වන Apple Watch series 5 එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මෙහි පසුගිය මාදිලි සියල්ලකම පාහේ අත පහළට කළ විට එහි display එක සම්පූර්ණයෙන්ම off වන නමුත් මෙම සංස්කරණයේ සිට always on display පහසුකම අන්තර්ගත කිරීමට කටයුතු කර තිබීම ප්‍රධානතම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකි වෙනවා.

මේ අනුව අත පහළට හෙලූ විට මෙහි අන්තර්ගත වන display එකේ refresh rate එක තත්ත්පරයට එකක් දක්වා පහළ බසින නමුත්, අදාල Watch face එක ඒ ආකාරයෙන්ම දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව මෙයට Compass sensor එකක් අන්තර්ගත කර ඇති අතර, ඒ හරහා maps සහ dedicated compass app එක වැනි ඊට අදාල app වල වැඩිදියුණු කිරීම් ද අන්තර්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සියළුම දේ ඇතුලත් වුවත්, එක් වරක් charge කළ පසු පැය 18ක කාලයක් දක්වා මෙය භාවිතා කළ හැකි බවත්, aluminium, stainless steel, titanium සහ ceramic වලින් නිර්මාණය කළ මාදිලි වලින් GPS පහසුකම සහිත මාදිලිය ඩොලර් 399ක මුදලකටත්, GPS සහ LTE සේවාව භාවිතා කළ හැකි මාදිලිය ඩොලර් 499ක මුදලකටත් අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

මීට අමතරව Apple Watch series 3 වල මිල ඩොලර් 279 සිට 199 දක්වා අඩු කිරීමටත් මොවුන් තීරණය කර තිබෙනවා.

iPhone 11

iPhone XR වල අලුත් සංස්කරණය වන iPhone 11 මාදිලිය අඟල් 6.1ක ප්‍රමාණයේ LCD display එකක් සමඟින් නිෂ්පාදනය කර ඇති අතර Apple සමාගමේ අලුත්ම chipset එක වන A13 Bionic chipset එක මෙයට අන්තර්ගත වෙනවා.

මේ A13 Bionic chipset එක දැනට smartphone එකකට අන්තර්ගත කර ඇති වේගවත්ම chipset එක බව ද Apple සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙය 12MP wide-angle සහ 12 MP ultra-wide dual camera පද්ධතියකින් සමන්විත වන අතර, night mode එක සහ flasher එක වැඩිදියුණු කිරීමට ස මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ iPhone 11 ජංගම දුරකථනය භාවිතා කර video එකක් නරඹන විට, device එක වටා sound field එකක් නිර්මාණය කරගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ හරහා 3D sound effect එකක් ලබාදීමට මෙයට හැකියාව ලැබෙනවා.

මෙම පහසුකම Spatial Audio යන නමින් හැඳින්වීමට මොවුන් කටයුතු කළ අතර, මෙය Dolby Atmos සඳහා ද සහාය දක්වන බව Apple සමාගම පෙන්වා දෙනවා.

Front camera එක හරහා slow-motion සහ 4K (60fps) video record කිරීමේ හැකියාව අන්තර්ගත කර ඇති මේ iPhone 11 ජංගම දුරකථනය පැරණි iPhone XR එකට වඩා ඩොලර් 50ක් මිළ අඩුවෙන්, එනම් ඩොලර් 699ක මුදලකට අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

iPhone 11 Pro/Pro Max

iPhone 11 Pro සහ Pro Max යන මාදිලි ද්විත්වයම camera 3කින් සමන්විත camera පද්ධතියක් අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇති අතර මෙහි අන්ත්ර්ගත වන Deep Fusion නමින් හඳුන්වනු ලබන පහසුකම හරහා machine learning භාවිතා කරමින් ඉතාමත් පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබාදීමට සමත් වන බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

iPhone 11 Pro මාදිලිය අඟල් 5.8ක ප්‍රමාණයේ display එකකින් සමන්විත වන අතර, Pro Max මාදිලිය අඟල් 6.5ක ප්‍රමාණයෙන් යුතු වෙනවා. එමෙන්ම Pro මාදිලිය පසුගිය iPhone Xs Max ජංගම දුරකථනයට වඩා පැය 4ක කාලයක් භාවිතා කළ හැකි බවත්, iPhone 11 Pro Max ජංගම දුරකථනය Xs Max මාදිලියට වඩා පැය 5ක කාලයක් භාවිතා කළ හැකි බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මෙහි අන්තර්ගත වන display එක ඉතාමත් හොඳ තත්ත්වයේ color reproduction හැකියාවකින්, range එකකින් යුතු බැවින්, මෙම display එක Super Retina XDR display යන නමින් හැඳින්වීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

මෙම මාදිලි ද්විත්වයම 18W fast charger එකක් සමඟින් වෙළඳපොලට නිකුත් කරනු ඇති අතර iPhone 11 ජංගම දුරකථනයේ අන්තර්ගත වන Apple A13 Bionic chipset එක හරහා මේ මාදිලි ද්විත්වය ද බළගැන්වෙන බව Apple සමාගම පෙන්වා දෙනවා.

iPhone 11 Pro ජංගම දුරකථනය ඩොලර් 999ක මුදලකටත්, iPhone 11 Pro Max ජංගම දුරකථනය ඩොලර් 1099ක මුදලකටත් අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර ඇති අතර සැප්තැම්බර් මස 20 වැනි දින සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.