Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම event එක ඊයේ දිනයේ Steve Jobs Theater හි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව අපි ඔබව මේ මාසයේ මුල් දිනවල වාර්ථා කළා මතක ඇති.

අප අනාවැකි පළ කළ ආකාරයෙන්ම Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම එළිදැක්වීම් අතරට Apple TV, Apple TV+, Apple News+ සහ Apple Arcade වැනි subscriptions එකතුකිරීමට කටයුතු කර තිබූ අතර ඒ අතරින් වැදගත්ම එළිදැක්වීම් 5 ගැන විමසා බළමු.

Apple News Plus

Apple News සේවාවට අලුතින් Apple News Plus යනුවෙන් subscription එකක් හඳුන්වාදෙමින් ලොව ප්‍රසිද්ධ Magazines තම apple device එක භාවිතා කර කියැවීමේ හැකියාව ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම subscription එක සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් 9.99ක මුදලක් අය කෙරෙනු ඇති අතර ඊයේ දිනයේ සිට magazines 300ක පමණ ප්‍රමාණයක් US සහ Canada යන රටවල් වලදී භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඉහත සඳහන් කළ මුදලට subscription එක ලබාගත් පසු තම පවුලේ සාමාජිකයන් අතර එම package එක භාවිතා කිරීමේ හැකියාව තිබෙන අතර, පළමු මාසය නොමිලයේ ලබාදීමට ද Apple සමාගම තීරණය කර තිබෙනවා.

Apple Card

Apple සමාගම විසින් iPhone භාවිතා කරන්නන් හට Credit Card එකක් ලබා දීමට සූදානම් වන බවට පසුගිය පෙබරවාරි මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ Showtime event එක අතරතුරදී Apple සමාගම විසින් Apple Card නම් වූ ඔවුන්ගේ අලුත් සේවාව හඳුන්වා දුන් අතර තම iPhone එක හරහා ‍Apple Card එකකට අයදුම් කිරීමට iPhone පරිශීලකයන් හට මේ අනුව අවස්ථාව ලැබෙනවා.

අදාල අයදුම් කිරීම Apple සමාගම විසින් අනුමත කළ පසු අදාල පරිශීලකයා හට Apple Wallet app එක හරහා සාමාන්‍යය credit card එකක් ආකාරයෙන් මෙය භාවිතා කළ හැකි අතර අදාල payment එක සිදු කරනු ලබන අවස්ථාවට පමණක් වලංගු වන security code එකක් මේ හරහා generate කරනු ලබනවා.

Goldman Sachs සහ Mastercard යන ආයතන හරහා මේ Apple card එකට අදාල කටයුතු සිදු කරනු ලබන අතර මේ හරහා සිදු කරනු ලබන සියළුම transaction සඳහා 2%ක cashback එකක් ද, Apple සමාගම ඇතුලත සිදු කරනු ලබන transactions සඳහා 3% cashback එකක් ද ලබා දීමට මොවුන් තීරණය කර තිබෙනවා.

මේ වෙනුවෙන් Titanium වලින් නිර්මිත card එකක් ද නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරනු ලබන අතර මේ card එක භාවිතා කිරීමේදී පෙර සඳහන් කළ cashback offer එක 1% දක්වා අඩු වන බවත් දැනගන්නට ලැබෙනවා.

Apple Arcade

Apple සමාගම විසින් මේ event එක අතරතුරදී එළිදැක්වීමට කටයුතු කළ තවත් subscription එකක් වන්නේ Apple Arcade gaming subscription එකයි.

මෙම subscription එක ලබා ගැනීම මගින් iPhone, iPad, Apple TV සහ Mac පරිගණක වල 100 ගණනක් paid games play කිරීමේ හැකියාව ලැබෙන අතර සෑම game එකකටම වෙන වෙනම මුදල් ගෙවීමේ අවශ්‍යයතාවය මෙයින් අවසන් වී යනවා.

මෙය Google Stadia මෙන් Game streaming සේවාවක් නොවන අතර අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති අවස්ථා වලදී වුවත් මෙම games play කිරීමේ හැකියාව තිබෙන බව Apple සමාගම පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ subscription එකට අදාල වන මිළ ගණන් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට Apple සමාගම කටයුතු නොකළ අතර ඉදිරියේදී මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හැකි වනු ඇත.

Apple TV

Apple TV වලට එකතු වීමට නියමිත අලුත් update එකත් සමඟින් HBO, PBS, CBS, Acorn TV, සහ Tastemade වැනි විශාල ප්‍රසිද්ධියක් ඇති channels, Apple TV Channels යන පහසුකම හරහා විශාල package එකක් වශයෙන් ලබාගැනීමෙන් තොරව, අදාල channel එකට පමණක් ගෙවා නැරඹීමේ පහසුකම ලබාදීමට නියමිත අතර ඒ වෙනුවෙන් වෙනත් apps භාවිතා කිරීමේ අවශ්‍යයතාවය තවදුරටත් බළපැවැත්වෙන්නේ නැති බව Apple සමාගම ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් මේ සඳහා වන මිළ ගණන් මෙම event එක අතරතුරදී නිවේදනය නොකෙරුණු අතර  මීළඟ මැයි මාසය වන විට මේ update එක රටවල් 100කට අධික සංඛාවකට ලබා දීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මීට අමතරව මෙම සේවාව Roku, Amazon Fire TV වැනි සේවාවන් වෙත ලබාදීමට ද Apple සමාගම බළාපොරොත්තු වෙනවා.

Apple TV Plus

Apple TV Channels වලට අමතරව Apple TV Plus නමින් තවත් subscription එකක් හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කළ අතර මේ හරහා Apple සමාගම විසින්ම නිර්මාණය කළ වැඩසටහන් වලට අමතරව Steven Spielberg වැනි ප්‍රසිද්ධ පුද්ලගයන්ගේ නිර්මාණ online හෝ offline, එනම් download කරගෙන පසුව නැරඹීමේ පහසුකම ද ලබාදීමට නියමිත බව ප්‍රකාශ කරනු ලැබුවා.

මීට අමතරව මෙම සේවාව සම්පූර්ණයෙන්ම advertisements වලින් තොර බවත් Sony, LG, Vizio සහ තවත් නිෂ්පාදකයන්ගේ Smart TV හරහා මේ පහසුකම ලබාදීමට කටයුතු කරනු ලබන බවත් වැඩිදුරටත් Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.


මේ Showtime event එකේ keynote එක සංක්ෂිප්තය කෙටි video එකක් හරහා ඉදිරිපත් කිරීමට The Verge වෙබ් අඩවිය විසින් කටයුතු කර ඇති අතර වැඩි විස්තර සඳහා එම video එක භාවිතා කළ හැක.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය හා නිළ Apple Newsroom වෙබ් අඩවිය භාවිතා කළ හැක.