Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Google Play Services භාවිතා කිරීමේ හැකියාව අවලංගු කිරීමත්, තවත් ප්‍රසිද්ධ chip නිෂ්පාදකයන් රැසක් තමන්ගේ සැපයුම් Huawei සමාගමට ලබා නොදීමට කටයුතු කිරීමත් ගැන මීට කලින් ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම වුණත් ‍Android වෙනුවට වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමටත්, වෙනත් සැපයුම්කරුවන්ගේ chips වෙනුවට තමන්ගේම HiSilicon නිෂ්පාදනාගාර වල නිශ්පාදිත chips භාවිතා කිරීමේ හැකියාවත් පැවතීම නිසාවෙන් මේ දක්වා Huawei සමාගමට තම ජංගම දුරකථන ව්‍යාපාරය කෙසේ හෝ ගොඩනගාගෙන ඉදිරියට යෑමට හැකියාව තිබුණු බව මේ වන විටත් ඔබ දැනුවත් ඇති.

කොහොම නමුත් මේ තත්ත්වය උඩු යටිකුරු කරමින් ARM ආයතනය ද තම තාක්ෂණයන් සඳහා Huawei සමාගමට ලබා දී තිබූ බළපත්‍ර අහෝසි කිරීමටත්, තවදුරටත් සහයෝගය ලබා දීම නවතා දැමීමටත් කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Huawei සමාගමේ Kirin chipset එක නිෂ්පාදනය කරනු ලබන HiSilicon ආයතනය තමන්ගේ chips නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය කරනු ලබන තාක්ෂණය සහ processor designs ඇතුළුව බොහෝ දේ මේ ARM ආයතනය සතු දැනුම සහ බළපත්‍ර භාවිතා කරන අතර ARM architecture එකට අවශ්‍යය බළපත්‍ර නොමැතිව තමන්ගේ නිෂ්පාදනාගාර වල chipset නිෂ්පාදනය කිරීමට Huawei සමාගමට හැකියාවක් නොමැති වී යනවා.

උදාහරණයක් ලෙස Huawei P30 Pro ජංගම දුරකථනය බළගැන්වෙන HiSilicon Kirin 980 chipset එක නිෂ්පාදනය කරනු ලබන්නේ ARM සමාගමේ Cortex A76 සහ A55 architecture එකට අනුවයි.

මේ ARM ආයතනය ජපානයේ SoftBank group එකට හිමි සමාගමක් මෙන්ම එක්සත් ජනපදයේ (UK) ස්ථාපිත ආයතනයක් වුවත්, මොවුන්ගේ processor design සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ Austin, Texas, San Jose සහ California යන ප්‍රාන්ත වලයි.

මේ හේතුව නිසාවෙන් Huawei සමාගමේ Kirin processors නිෂ්පාදනය කිරීම සඳහා ලබා දී තිබූ බළපත්‍ර අහෝසි වන අතර ARM designs භාවිතා කරමින් තවදුරටත් chipset නිෂ්පාදනය කිරීමට Huawei සමාගමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ARM ආයතනය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ, HiSilicon සමාගමත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු සබඳතාවය ඔවුන් ඉතාමත් උසස් කොට සළකන නමුත් දේශපාලනික හේතූන් මත මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මේ පීඩනය දරා ගැනීමට ඔවුන් හට හැකියාවක් නොමැති බවයි.

තවත් මාස 3ක සිට වසරක පමණ කාලයකට සෑහෙන සැපයුම් දැනටමත් Huawei සමාගම සතුව තිබෙන නමුත් ඉක්මණින්ම ඔවුන් හට වෙනත් විසඳුමක් කරා යාමට සිදු වෙනවා.

එමෙන්ම Huawei ජංගම දුරකථන වල storage සහ network සඳහා භාවිතා වන කොටස් ද Micron, Skyworks සහ Qorvo වැනි ඇමෙරිකානු සමාගම් වලින් ලබාගෙන තිබෙන අතර ඒ වෙනුවට වෙනත් සැපයුම්කරුවන් සොයාගැනීමට ඔවුන් හට සිදු වෙනවා.

‍කෙසේ හෝ අනෙකුත් උපාංග සඳහා සැපයුම්කරුවන් සොයාගත්තද ARM ආයතනය සතු architecture design සහ instruction set නොමැතිව ජංගම දුරකථන ලොව දීර්ඝ කාලයක් රැදී සිටීමට Huawei සමාගමට හැකියාවක් නොලැබෙනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.