ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ උපදෙස් හා රෙගුලාසි නිසාවෙන්, Google සමාගම විසින් Huawei සමාගම ඇතුළු තවත් ආයතන 70ක් සමඟින් සිදු කළ වෙළඳ කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකානු රජය විසින් Huawei සමාගම ඇතුළු එහි අනුබද්ධිත ආයතන 70ක නම් සහිත Entity List නම් වූ ව්‍යාපාර නාම ලැයිස්තුවක් සකස් කර ඇති අතර එහි සඳහන් වන සමාගම් සමඟින් වෙළඳ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍යය නම් ඒ සඳහා ඇමෙරිකානු රජයේ අනුමැතිය ලබාගත යුතු වන බව දන්වා තිබෙනවා.

මේ අනුව Google සමාගම විසින් Google සේවාවන් වෙනුවෙන් Huawei සමාගමට ලබා දී තිබුණු Android License එක සහ Google Play සේවාවන් මෙන්ම මීළඟට නිකුත් කිරීමට නියමිත Android Security patches පවා වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් දැනට පවතින Huawei devices වල තිබෙන Google Play Protect ඇතුළු සියළුම සේවාවන් බාධාවකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, මේ තීරණය හරහා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත updates සහ devices වලට බළපෑමක් ඇති වන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Android Open Source Project එක නිදහසේ භාවිතා කිරීමට ඕනෑම කෙනෙකුට අවසරය තිබෙන බැවින්, ඉහත සඳහන් කළ security patches මෙම AOSP repository එකට upload කළ පසු ඒවා භාවිතා කිරීමට Huawei සමාගමට තවමත් කිසිඳු බාධාවක් නොමැති වෙනවා.

නමුත් Google Play Store, Chrome, Gmail, Google Maps, YouTube ඇතුළු Google සමාගමට අයත් සියළුම සේවාවන් අනාගතයේ නිකුත් වීමට නියමිත Huawei devices වලට අන්තර්ගත කිරීමට ඔවුන්ට හැකියාව නොලැබී යනවා.

විශේෂයෙන්ම බොහෝමයක් Android apps වල push notification පහසුකම ක්‍රියාත්මක වන්නේ Google Play Services, සේවාව හරහා වන අතර අදාල app සඳහා වෙනත් ක්‍රමයක් ඇතුලත් කිරීමට developers ලා කටයුතු කර නොතිබුණ හොත්, එම framework එක නොමැති වූ විට අදාල app වලින් notification ලැබීම ද නතර වී යනු ඇත.

කොහොම නමුත් මේ වන විට චීන රජය විසින් ඇමෙරිකානු රජයෙන් මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙන අතර වෙළඳ කටයුතු වලදී පක්ෂපාතී නොවී සියළුදෙනා හට සාධාරණ වෙළඳ වටපිටාවක් ලබා දෙන ලෙස ද ප්‍රකාශයක් සිදු කර තිබෙන බව වාර්ථා වෙනවා.

Android තහනම් කළහොත් ඒ වෙනුවට භාවිතා කිරීමට Huawei විසින් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පසුගිය මාර්තු මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei සමාගම ඉදිරියේදී මේ ගැටළුව නිරාකරණය කරගනීවිද, ඔවුන්ගේ මේ අලුත් මෙහෙයුම් පද්ධතියත් සමඟින් ඉදිරියට යෑමට කටයුතු කරාවිද යන්න තවමත් පැහැදිළි නොමැති නමුත් වසර ගණනාවක සිට ඔවුන් මේ තත්ත්වයට මුහුණදීමට සූදානමින් සිටි බව Huawei සමාගමේ HiSilicon chip division එක ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය, SCMP වෙබ් අඩවිය හා CGTN වෙබ් අඩවිය භාවිතා කළ හැක.