1973දී Martin Cooper මහතා විසින් ජංගම දුරකථනය නමැති උපාංගය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව ගතවූ අඩ සියවසකට ආසන්න කාලය තුළ එය ලොව වැඩියෙන්ම නව්‍යකරණය වූ ඉලෙක්ට්‍රොනික උපාංගය බවට පත් වී තිබෙනවා.

කලින් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට පමණක් සීමා වී තිබූ ජංගම දුරකථනය වර්තමානය වන විට වෙනත් උපාංග සිය ගණනක් විසින් සිදු කරන සියලුම කාර්යයන් තනිව ඉටුකරදීමට තරම් බලවත්ව තිබෙන අතර smartphone වල ආගමනයත් සමඟ මිනිසුන්ගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු පවා දුරකථනයට අනුව හැඩගැසීම සිදු වෙලා තියෙන බව දැකගන්න පුලුවන්.

මුල්කාලීනව Motorola, Sony Ericsson, Nokia වැනි සමාගම් වල ශක්තියෙන් පෝෂණය ලැබූ ජංගම දුරකථන වංශකතාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලබන්නේ වෙනත් සමාගම් විසිනුයි.

කාලයේ තාලයට නව්‍යකරණය වෙන්න අසමත් වුණු ඉහත සමාගම් මේ වෙනකොට මේ ක්ෂේත්‍රයේ යම් පසුබෑමකට ලක්ව සිටියත් වර්තමානයේ මෙම සමාගම් විසිනුත් යම් ප්‍රමාණයකට ජංගම දුරකථන නිශ්පාදනයේ යෙදෙනවා.

කොහොම වුණත් අපි ඔබට අද කියන්නට යන්නේ වර්තමානයේ ලොව ජංගම දුරකථන වෙළඳපොල තුළ සිටින විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයින් පස් දෙනා පිළිබඳවයි.

#1 Samsung Electronics

1938 දී Lee Byung Chul විසින් ආරම්භ කරන ලද Samsung සමාගම මේ වන විට ලොව විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා බවට පත්වෙලා තිබෙනවා.

ආරම්භ කර පලමු දශක තුනේම මෙම සමාගම නිරතවෙලා හිටියෙ ආහාර සැකසුම්, රෙදිපිලි, රක්ෂණ සුරැකුම්පත්, සිල්ලර වෙළඳාම වැනි ව්‍යාපාර වල වන අතර 1970 වර්ෂයේදී පමණ ඉදිකිරීම් හා නැව් නිශ්පාදන කර්මාන්තයටත් යොමු වුණා.

ඒත් 1987 දි සමාගමේ නිර්මාතෘ Lee මහතා මිය ගියාට පස්සේ මෙම සමාගම ප්‍රධාන ව්‍යාපාරික කණඩායම් 4 කට වෙන් කිරීම සිදු වුණු අතර, 1990 වර්ෂයේ සිට සම්පූර්ණයෙන්ම Electronic උපාංග නිශ්පාදනය සිදු කිරීම වෙත අවධානය යොමු වුණා.

Samsung සමාගම වර්තමානයේ සියලුම ආකාරයේ Elctronic උපාංග නිපදවන අංක එකේ කොරියානු සමාගමක් වන අතර ලෝක මට්ටමෙන්ද Samsung යනු ඉහළ කීර්ති නාමයක් හිමිකරගත් සමාගමක් වෙනවා.

ඒ වගේම සියලුම ආකාරයේ Electronic උපාංග සම්බන්ධ තාක්ෂණයන් සහිත ලොව ඇති සීමිත සමාගම් අතලොස්සෙන් එකක් බවට ද Samsung සමාගම පත් වී තිබෙනවා.

දැනට ලොව විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා වන Samsung සමාගම සතුව Galaxy S/Galaxy Note හා Galaxy Fold යන flagship උපාංග series එකක් හා Galaxy A/Galaxy M යන Midrange හා Entry-level series එකකුත් තිබෙනවා.

ඒ වගේම ආසන්න වශයෙන් 2018 වන විට 310,000 ක පමණ සේවක මණ්ඩලයක් සහිත Samsung සමාගම 2019 වර්ෂයේදී දුරකථන ඒකක මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කර තිබෙනවා.

#2 Huawei

Huawei කියලා කියන්නේ මේ දවස් වල වැඩිපුරම කතා වෙන සමාගමක්. ඊට හේතුව වෙලා තියෙන්නේ අමෙරිකානු සම්බාධක හමුවේ සිය වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට දැඩි තරගයක් දීමට සිදු වී තිබීමයි.

කොහොම වුණත් මේ සම්බාධක නිසාම වර්තමානයේ Android හා ඒ ආශ්‍රිත Google Services සඳහා සාර්ථක විකල්ප ඉදිරිපත් කරන්නටත් ඔවුන් මේ වෙනකොට සමත් වෙලා තියෙනවා.

1987 වර්ෂයේදී Ren Zhengfei විසින් ආරම්භ කරපු මෙම සමාගම 2019 වසර වෙනකොට 194,000 ක පමණ සේවක පිරිසකින් සමන්විත වුණා.

Huawei සමාගම ජංගම දුරකථන වලට අමතරව විදුලි සංදේශ උපකරණ නිපදවන සමාගමක් ද වන අතර ඔවුන් 2012 දී එම ක්ෂේත්‍රයෙන් Sony Ericsson සමාගම අභිබවා ගොස් පළමු ස්ථානයටද පත් උනා.

ඒ වගේම 2018 දී Apple සමාගම අභිබවා යමින් ලොව දෙවැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත් වූ අතර ඔවුන් වර්තමානයේ දෙවැනි වන්නේ Samsung සමාගමට පමණයි.

5G සේවා ද ඇතුළුව ලොව රටවල් 170 ක අධික ප්‍රමාණයක මෙහෙයුම් සිදුකරන Huawei සමාගම 2019 වසරේදී දුරකථන ඒකක මිලියන 240කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ලැබුවා.

#3 Apple

Steve Jobs, Steve Wozniak හා Ronald Wayne යන තුන්දෙනාගේ එකමුතුවෙන් 1976 වර්ෂයේදී Apple සමාගම ආරම්භ වුණා.

පැත්තකින් කොටසක් කා දැමුණු Apple ගෙඩියක රූපයක් රැගත් Apple logo එක ගැනත් ඔබ බොහෝ කටකතා අසා ඇති නමුත් පසුකාලීනව Steeve Jobs මහතා විසින්ම ප්‍රකාශ කර ඇති පරිදි මෙම කොටසක් කා දැමූ Apple ගෙඩියක් යොදාගෙන තියෙන්නෙ ඒක චෙරි ගෙඩියක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබෙන නිසා කියලයි කියන්නේ.

ලෝක ප්‍රසිද්ධ LOGO පිටුපස සැඟවුණු රස කතා සහ ඔබ නොදන්න අමුතු කතා ගැන දැනගනිමු
අපි පාවිච්චි කරන ඇඳුම්වල, අප පාවිච්චි කරන දුරකථනවල සහ අප විසින් මිලදී ගන්නා ආහාරපාන මත, සහ අප වටා ඇති සෑම දෙයකම පාහේ විවිධ වර්ගයේ Logos දක්නට ලැබෙන බව අපිකවුරුත් හොඳින් දන්නවා. සමහර ලාංඡන ඉතාමත් සරලයි. ඒවායේ අකුරක් හෝ රූපමය නියෝජනයක් පමණක් දක්නට ලැබන නමුත්සමහර ඒවා වඩාත් සංකීර්ණයි. ඒ වගේම සරළ log…
මේ Apple Logo එක ගැන අපි මීට කලින් තවත් TechRoom ලිපියකින් සාකච්ඡා කළා මතක ඇති.

Apple සමාගම වර්තමානයේ ජංගම දුරකථන වලට අමතරව විශාල පරාසයක ඉලෙක්ට්‍රොනික උපාංග සහ සේවා සපයන අංක එකේ ඇමරිකානු සමාගමක් වන අතර එම සෑම උපාංගයක්ම, අනිත් සියලුම සමාගම් විසින් නිකුත් කරන උපාංග වලට වඩා මිලෙන් අධික වෙනවා.

2020 පමණ වන විට ලොව පුරා Retail Store 511 ක් පමණ විවෘත කිරීමට Apple සමාගම සමත් වී තිබෙන අතර 2019 වන විට 140,000 ක ආසන්න සේවක සංඛ්‍යාවකින් සමන්විත වුණා.

ඒ වගේම වර්තමානයේ චීනය මෙන්ම ඉන්දියාව තුළ ද සිය නිෂ්පාදන කටයුතු සිදු කරන්නට Apple සමාගම කටයුතු කරමින් සිටින අතර මිල අධික උපාංග වෙනුවට සෑම පාරිභෝගිකයකුට ම දැරිය හැකි මිල ගණන් වලට උපාංග නිකුත් කිරීමටත් පෙළඹී සිටිනවා.

2019 වසරේදී උපාංග ඒකක මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමට Apple සමාගම සමත් වී තිබෙන අතර 2014 දී නිකුත් කල සිය iPhone 6 හා 6 Plus මාදිලියෙන් ඒකක මිලියන 225 ක් අලෙවි කරන්නටත් Apple සමාගම සමත් වුණා.

#4 Xiaomi

මෙම ලැයිස්තුවේ සිටින දෙවන චීන සමාගම වෙන Xiaomi සමාගම, 2010 තරම් ඉතාම මෑත කාලයක ආරම්භ කල සමාගමක්.

Lei Jun විසින් ආරම්භ කරපු මෙම සමාගමේ 2019 වර්ෂයේ දෙසැම්බර් වන විට 19000 ක අධික සේවක සංඛ්‍යාවක් සේවය කරනු ලැබුවා.

ඒ වගේම Pocophone, Redmi හා Black Shark යන දුරකථන වෙළඳනාම වලද හිමිකාරීත්වය තිබෙන්නේ මෙම Xiaomi සමාගටම වන අතර සියලුම ආකාරයේ Elctronic උපාංග හා ඊට අමතරව වෙනත් ගෘහ උපකරණ, සපත්තු, බෑග් ආදියද Xiaomi සමාගම විසින් නිපදවනු ලබනවා.

2019 වසරේදී දුරකථන ඒකක මිලියන 125 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට ඔවුන් සමත් වූ අතර චීනය හා ඉන්දියාව යනු ඔවුන්ගේ ප්‍රධානම වෙලඳපොලවල් දෙක වෙනවා.

අනෙක් සමාගම් වලට සාපේක්ෂව ඉතාම ලාබාල සමාගමක් වුවත් මෙම ලැයිස්තුවේ 4 වන ස්ථානය දක්වා පැමිණීමට Xiaomi සමාගම සමත් වීම විශ්මිත වෙන අතර සාපේක්ෂව අඩු මුදලකට ඉතාම ඉහල ගුණාත්මකභාවයකින් යුත් උපාංග නිකුත් කිරීම මීට ප්‍රධානම හේතුව විය හැකියි.

#5 BBK Electronics

1998 දී Duan Yongping විසින් ආරම්භ කරපු චීන සමාගමක් වෙන BBK Electronics සමාගම යනු වර්තමානයේ Oppo, Vivo, Oneplus, Realme හා iQOO යන සියලුම වෙළඳනාම වලින් දුරකථන නිකුත්කරන සමාගම් වල මව් සමාගමයි.

මෙහිදී iQOO වෙළඳනාමය හඳුන්වාදෙන ලද්දේ 2019 වර්ෂයේ මාර්තු වල වන අතර 2019 වසරේදී මෙම සියලුම වෙළඳනාමවලින් දුරකථන ඒකක මිලියන 260 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන්නට BBK Electronics සමාගම සමත් වෙලා තියෙනවා.

Xiaomi සමාගම වගේම BBK Electronics සමාගමත් සිය මෙහෙයුම් සිදු කරන්නේ මූලිකව චීනය හා ඉන්දියාව යන රටවල් පදනම් කරගෙනයි.


ඉතින් වර්තමානයේ මේ කුමන සමාගමක් කොතරම් සාර්ථක වී සිටියත් තවමත් ලොව වැඩිම අලෙවියක් සහිත ජංගම දුරකථන නිකුත් කල සමාගම බවට පත් වීමට හෝ ඒ අසලටවත් පැමිණීමට ඉහත සමාගම් කිසිවකට හැකියාවක් ලැබී නැහැ.

මේ වෙනතෙක්ම ලොව වැඩිම අලෙවියක් සහිත උපාංග නිශ්පාදන‍ය කල සමාගම වන්නේ Nokia සමාගම වෙන අතර එම මාදිලි වෙන, Nokia 1100 හා Nokia 1110 යන මාදිලි වෙන වෙනම, දුරකථන ඒකක මිලියන 250 ක්, එනම් ලක්ශ 2,500 කට වඩා ලොකේ පුරා අලෙවි වෙලා තියෙනවා.

වර්තමාන දුරකථන නිශ්පාදකයින්ගෙන් මේ කිට්ටුවට එන්න ටිකක් හෝ සමත් වෙලා තියෙන්නෙ iPhone 6 හා 6 Plus යන මාදිලි පමණක් වෙන අතර මෙම මාදිලි වලින් මුලු ලෝකයෙම ඒකක මිලියන 225ක් ඒ කියන්නෙ ලක්ශ 2,250 ක් වගේ අලෙවි වෙලා තියෙනවා.

Apple සමාගම ඇරුණම මේ වැඩිම උපාංග අලෙවි කල ලැයිස්තුවේ සැලකිය යුතු තැනක් හිමි කරගන්න ඉහත සඳහන් කිසිදු සමාගමක් මේ වනතෙක් සමත් වෙලා නැහැ.


සමහර විට මේ ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.