2019 වර්ෂය සඳහා වූ Microsoft සමාගමේ Surface event එක ඔක්තෝම්බර් 2වැනි දින පැවැත්වීමට නියමිත වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Microsoft සමාගමේ මීළඟ Surface event එක ඔක්තෝම්බර් 2වැනි දින පැවැත්වීමට නියමිත වෙයි
තාක්ෂණික ලොව දැවැන්තයෙකු වන Microsoft සමාගම සිය මීළඟ විශාලතම දෘඩාංග එළිදැක්වීමේඋත්සවය එළැඹෙන ඔක්තෝම්බර් 2 වන දා New York City හි දි පැවැත්වීමට තීරණය කොට ඇත. Windows හි නිල ලාංඡනය ඇතුලත් ඇරයුම් පතක් අන්තර්ජාලයට එක් කරමින් සමාගම මේ බවතහවුරු කර සිටින අතර මෙය හුදෙක්ම දෘඩාංග එළිදැක්වීමක් පමණක්ම නොව, W…

මේ අනුව ඊයේ දිනයේ පැවති මේ event එක අතරතුරදී Windows 10X, Surface Duo phone එක ඇතුළු අලුත් products 10කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වාදීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා.

මේ අතරින් විශේෂයෙන්ම Surface Duo නම් වූ Android මගින් බළගැන්වෙන foldable tablet එක විශේෂත්වයක් ගන්නා අතර, මෙය Google Play Store වැනි Google සේවාවන් සමඟින් නිකුත් කිරීමට Microsoft සමාගම තීරණය කර තිබෙනවා.

Surface Duo

‍Surface Duo එක අඟල් 5.6ක ප්‍රමාණයේ display එකකින් සමන්විත වන අතර වෙනත් foldable devices වල දකින්නට ලැබෙන තනි display එක වෙනුවට මෙහි display ද්විත්වයක් අඩංගු වෙනවා.

එමෙන්ම මේ අලුත් device එක සමඟින් Windows 10 සහ Android අතර සම්බන්ධතාවය පෙර නොවූ විරූ අයුරින් වැඩිදියුණු කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර 2020 වර්ෂයේදී මෙය වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා.

Windows 10X

මීට අමතරව Windows 10X නමින් Windows 10 වල තවත් සංස්කරණයක් නිර්මාණය කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර මෙය විශේෂයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ multi-scree devices වලට වන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

Surface Neo

එමෙන්ම මේ Windows 10X මෙහෙයුම් පද්ධතිය අන්තර්ගත වන අලුත් device එකක් හඳුන්වාදීමට Microsoft සමාගම කටයුතු කළ අතර එය Surface Neo නමින් හැඳින්වෙනවා.

මේ device එක අඟල් 9ක display ද්විත්වයකින් සමන්විත නම්‍යශීලී device එකක් වුවත්, Samsung Galaxy Fold වල මෙන් මෙහි අන්තර්ගත වන display එක නම්‍යශීලී නොවන අතර ඒ වෙනුවට වෙන වෙනම display දෙකක් භාවිතා කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

Surface Neo එක තවමත් නිර්මාණය කරමින් පවතින device එකක් වන බවත්, එය ලබන වසරේදී වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත් Microsoft සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

Surface Pro X

Microsoft Surface Pro මාලාවේ අලුත්ම device එකක් ලෙස Surface Pro X device එක ද මෙහිදී හඳුන්වාදීමට Microsoft සමාගම කටයුතු කළ අතර, මෙය අඟල් 13ක tablet එකක් වෙනවා.

Windows 10 මගින් බළගැන්වෙන මේ Surface Pro X tablet පරිගණකය පසුගිය Surface Pro 6 එකට වඩා තුන් ගුණයකින් පමණ වේගවත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙය ඇමෙරිකානු ඩොලර් 999ක මිළකට අලෙවි කිරීමට නියමිත වන අතර මේ වන විට එහි pre-order කිරීමේ හැකියාව ලබාදීමටත්, නොවැම්බර් මාසය වන විට එය වෙළඳ‍පොලට නිකුත් කිරීමටත් Microsoft සමාගම සූදානමින් සිටිනවා.

Surface Earbuds

මේ වසරේදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ truly wireless headset එක, එහෙමත් නැතිනම් ඇත්තෙන්ම wire නොමැති headset එක වන Surface Earbuds යුගලය හඳුන්වාදීමට කටයුතු කළ අතර මෙය වරක් charge කළ පසු පැය 24ක් දක්වා භාවිතා කළ හැකි වෙනවා.

සාමාන්‍යය headset එකක මෙන් ගීත හැසිරවීමට මෙන්ම, Microsoft Office සඳහා integration එකක්, එනම් PowerPoint slides හැසිරවීමේ හැකියාව වැනි පහසුකම් ද මෙයට අන්තර්ගත කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් earbuds යුගලය ඇමෙරිකානු ඩොලර් 249ක මුදලකය අලෙවි කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Surface Pro 7

Intel සමාගමේ 10th generation processor එකක් සමඟින් මෙවර Surface Pro 7 tablet පරිගණකය එළිදැක්වීමට කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම මීට පෙර charge කිරීම සඳහා ඇතුලත් කර තිබුණු port එක replace කරමින් USB type-C port එක හරහා charge කිරීමේ හැකියාව ඇතුලත් කර තිබෙනවා.

මෙහි base model එක ඇමෙරිකානු ඩොලර් 749ක මිලකට මේ වන විට pre-order කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Surface Laptop 3

මීට අමතරව Microsoft සමාගමේ Surface Laptop මාලාවේ අලුත්ම laptop එක වන Surface Laptop 3 එක මෙහිදී එළිදැක්වීමට කටයුතු කළ අතර මෙය Apple MacBook Air එකට වඩා තුන් ගුණයකින් වේගවත් බව ඔවුන් පෙන්වා දෙනවා.

AMD සමාගම සමඟින් එකතු වී ඔවුන්ගේ Ryzen processor එකේ විශේෂ edition එකක් මේ Surface එක සඳහාම නිර්මාණය කිරීමට කටයුතු කර ඇති අතර, මේ සමඟින් මේ laptop class එකෙහි ඇති අනෙකුත් සෑම laptop එකකටම වඩා වැඩි graphic performance එකක් ලබාදීමට මේ Surface Laptop 3 එකට හැකියාව තිබෙන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙහි අඟල් 13.5 මාදිලිය ඩොලර් 999ක් වන අතර අඟල් 15 මාදිලිය ඩොලර් 1,199ක් ලෙස මිළ නියම කර ඇති අතර මේ වන විට pre-order කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.