Apple Watch Series 4 එකට ECG පහසුකම ඇතුලත් කිරීමට Apple සමාගම සූදානම් වන බව පසුගිය නොවැම්බර් මස 30 වැනිදා අපි ඔබව දැනුවත් කළා ඔයාලට මතක ඇති.

මේ අනුව මේ ECG පහසුකම පසුගිය 6 වැනිදා watchOS 5.1.2 update එක සහ iOS 12.1.1 update එක හරහා නිකුත් කරන්නට Apple සමාගම කටයුතු කළ අතර මෙය තවමත් ලබා දෙන්නේ ඇමෙරිකානු පුරවැසියන්ට පමණක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ පහසුකම අනුව heart beat එකෙහි (හෘද ස්පන්දන වේගයෙහි) යම්කිසි වෙනසක් වෙතොත් ඒ පිළිබඳව Watch එක මගින් notification එකක් හරහා දන්වන අතර එම අවස්ථාවේදී ECG app එක open කර තත්ත්පර 30ක කාළයක් අදාල button එක මත ඇඟිල්ල තබාගෙන සිටීම මගින් මේ ECG පහසුකම හරහා අසාමාන්‍යය තත්ත්වයක් ඇති නම් එය හඳුනාගතහැකි වෙනවා.

කෙසේ නමුත් මෙම පහසුකම නිකුත් කර දින දෙකක් වැනි සුළු කාළයක් ඇතුලත පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට උපකාරී වූ පවතක් මේ වන විට වාර්ථා වෙනවා.

එම පුද්ගලයා Reddit වෙබ් අඩවිය හරහා මෙම පුවත වාර්ථා කර ඇති ආකාරයට, අසාමාන්‍යය හෘද ස්පන්ධන වේගයක් (abnormal heart rate) හා AFib (Atrial fibrillation) නැමැති  තත්ත්වය වාර්ථා වන බවට මේ Apple Watch එක හරහා නිවේදනයක් ඔහු වෙත ලැබී ඇතත්, මුලින්ම එය software එකෙහි ඇති bug එකක් ලෙස සිතූ ඔහු, මේ Apple Watch එක තම බිරිඳගේ අතෙහි පැළඳවා නැවත පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී සාමාන්‍යය තත්ත්වයක් පෙන්වා ඇති අතර නැවතත් ඔහු එය පැළඳගත් විට මේ heart rate alert එක පැමිණ තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ ඔහු රෝහළකට ගොස් වෛද්‍යයවරයෙකු ලවා පරීක්ෂා කිරීමක් සිදු කර තිබෙන අතර එම රෝග තත්ත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව වෛද්‍යයවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මේ Apple Watch එක ඔහුගේ ජීවිතය බේරාගෙන තිබෙන බවයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Reddit වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.