අලුතින් එළිදැක්වූ iPhone XS, iPhone XS Ultra සහ iPhone XR යන මාදිලි වල අලෙවියේ අඩු බවක් නිසාවෙන් Apple සමාගම ඔවුන්ගේ පැරණි iPhone X මාදිලියේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, මෙතෙක් කල් ලොව වටිනාකමින් වැඩිම වෙළඳ සමාගම ලෙස කිරුළු පැළඳ සිටි Apple සමාගම අභිබවා Microsoft සමාගම එම කිරුළ හිමි කරගන්නට සමත් වී තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම වාර්ථා අනුව, පසුගිය බ්‍රහස්පතින්දා වන විට Microsoft සමාගම හා Amazon සමාගම පිළිවෙලින් පළමු හා දෙවන ස්ථාන වල රැඳී සිටි අතර Apple සමාගම තෙවන ස්ථානයට ඇද වැටී තිබෙනවා.

කොහොම නමුත් සිකුරාදා සින වන විට තත්ත්වය තරමක් හොඳ අතර පත් වූ අතර Apple සමාගම Amazon සමාගම පරදා නැවතත් දෙවන ස්ථානයේ පසු වුවත් තවමත් Microsoft සමාගම අභිබවා යාමට හැකියාවක් ලැබී නැහැ.

මේ අනුව Microsoft සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 804.6ක වටිනාකමක් වාර්ථා කරමින් ලොව වටිනාකමින් වැඩිම ආයතනය ලෙස කිරුළු දරා සිටින අතර දෙවැනි ස්ථානය ඩොලර් බිලියන 799.6ක වටිනාකමක් වාර්ථා කරන Apple සමාගමට හිමි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.