මීට දින කිහිපයකට ප්‍රථමව ලොව ප්‍රථම නම්‍යශීලී display එකක් සහිත ජංගම දුරකථනය ගැන ඔබව දැනුවත් කිරීමට අප විසින් කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන්, Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය ගැන තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කර තිබෙනවා. ඊයේ දිනයේ පැවැත්වීමට කටයුතු කළ Samsung Developer Conference (SDC 2018) එක අතරතුරදී මෙම device එක ප්‍රථම වරට ලෝකයා හමුවේ තැබීමට කටයුතු කළ ඔවුහු වැඩිදුරටත් එහි අන්තර්ගත කර ඇති display එකෙහි specifications ගැන ද හෙළිකිරීමට කටයුතු කර තිබුණා.

මේ device එක tablet පරිගණකයක් ලෙස භාවිතා කළ හැකි අතර, එය නැවීමෙන් අනතුරුව ජංගම දුරකථනයක් ලෙස භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

මෙහි ඇතුලත් වන display technology එක “Infinity Flex” යනුවෙන් හැඳින්වීමට ඔවුහු කටයුතු කළ අතර ඔවුන් ප්‍රකාශ කරන අන්දමට සිය දහස් වාරයක් ගැටළුවකින් තොරව නැවිය හැකි, ඉතාමත් තුනී ආකාරයට AMOLED display නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇති අතර මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට සූදානම් තත්ත්වයේ පවතිනවා.

මෙය නවා ඇති විට අඟල් 4.6ක Super AMOLED display එකකින් ආවරණය වන අතර දිගහැරීමට කටයුතු කළ විට අඟල් 7.3ක Super AMOLED ප්‍රධාන display එක භාවිතා කළ හැකි අන්දමට නිමවා තිබෙනවා.

මේ cover display එක 840×1960 ප්‍රමාණයේ resolution එකකින් යුක්ත වන අතර අඟලක් තුල අඩංගු pixel ප්‍රමාණය 420dpi ලෙස සටහන් වෙනවා. එමෙන්ම ප්‍රධාන display එකෙහි resolution එක 1536×2152 වන අතර එහි DPI අගය ද 420ක් වන බව වාර්ථා වෙනවා.

එමෙන්ම cover display එක open කර තිබෙන app වලට, මෙහි ප්‍රධාන display එක මතට පැමිණි විට මුළු තිරයම භාවිතාකළ හැකි ආකාරයට මෙය සකස් කර ඇති අතර ඒ වෙනුවෙන් Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියට අලුතින් එකතු කළ screen continuity API එක භාවිතා කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

එමෙන්ම මෙහි ප්‍රධාන display එක භාවිතා කරන විට එක වරකදී apps 3ක් දක්වා භාවිතා කිරීමේ පහසුකම ද මේ device එකට එකතු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මේ අලුත් තාක්ෂණයට සරිලන ලෙස තම apps නිර්මාණය කිරීමට developers ලා වෙනුවෙන් මෙයට අදාල emulator SDK එකක් ද එළිදැක්වීමට කටයුතු කළ අතර ඊට අදාල guidelines ද නිවේදනය කරනු ලැබ තිබෙනවා.

මේ අනුව මෙම device එක වෙළඳපොලට පැමිණෙන කාලය වන විට ඒ මත භාවිතා කිරීම සඳහා බොහෝමයක් ප්‍රධාන පෙලේ apps සකස් කර තිබේවි යැයි අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා නිළ Android Developers Blog එක භාවිතා කළ හැක.