ඔන්න දැන් ලොව ප්‍රථම වතාවට නම්‍යශීලී display එකක් එහෙමත් නැතිනම් flexible display එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

ලෝකයේ අංක එකේ mobile display නිෂ්පාදකයා වන Samsung සමාගම විසින් ලොව ප්‍රථම flexible display එකක් සහිත ජංගම දුරකථනය නිෂ්පාදනය කරාවි යැයි බොහෝ දෙනා බළාපොරොත්තු වුවත්, ප්‍රසිද්ධ සමාගම් සියල්ල අභිබවා Royole නම් වූ චීන සමාගමක් විසින් මෙම එළිදැක්වීම සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

FlexPai යනුවෙන් හඳුන්වන මෙය අඟල් 7.8ක නම්‍යශීලී Display එකකින් සමන්විත වන අතර එය සම්පූර්ණයෙන් දිගහැරිය විට එය 1920 x 1440 ප්‍රමාණයේ resolution එකකින් යුක්ත වෙනවා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මේ display එක අංශක 180ක් දක්වා නැමීමට හැකියාව තිබෙනවා.

මීට කලින් මේ ආකාරයේ විවිධ prototypes සහ concepts තිබුණත් මෙම device එක එයින් ඔබ්බට ගිය සැබෑ device එකක් වන අතර පෙනුමින් ඉතා අලංකාර නොවුවත්, ඔවුන් නිවේදනය කර තිබූ පරිදි නම්‍යශීලී display එකක් සහිත ප්‍රථම ජංගම දුරකථනය ලෙස මෙය ඉතිහාසගත වෙනවා.

කොහොම නමුත් නම්‍යශීලී display එකක් සහිත devices වල පළමු පරම්පරාව මේ හරහා ආරම්භ වුවත්, තවමත් මෙය භාවිතා කිරීමේදී අත්වැරදීමකින් apps open වීම වැනි අපහසුතාවයන් වලට මුහුණදීමට සිදු වන බව මෙය භාවිතා කර බැලූ පුද්ගලයින් අදහස් දක්වනවා.

මේ FlexPai එක Water OS නමින් හඳුන්වන Android 9.0 පාදක කරගෙන නිර්මාණය කළ Royole සමාගමට අයත් මෙහෙයුම් පද්ධතියක් හරහා පණගැන්වුණත්, තවමත් එහි වැඩිදියුණු වියයුතු තැන් රාශයක් පවතින් බවත් දැනගන්නට ලැබෙනවා.

මේ වන විට චීනයේදී මේ FlexPai එක යුවාන් 8,999ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් 227,000ක් වැනි මුදලකට මිලදීගැනීමේ හැකියාව තිබෙන අතර මෙහි base-model එක සතුව 128GB storage එකක් 6GB RAM එකක් අන්තර්ගත වෙනවා. එමෙන්ම තවත් රුපියල් 26,000ක් වැනි මුදලක් ගෙවා මෙහි 256GB Storage එකක් සහ 8GB RAM එකක් සහිත මාදිලියක් ද මිලදීගැනීමට අවස්ථාව තිබෙනවා.

මීට අමතරව 2.8GHz octa-core Qualcomm Snapdragon processor එකකින් මෙය බළගැන්වෙන අතර 3,800mAh battery එකක් ද අන්තර්ගත වෙනවා. ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා මෙම device එක මේ වන විට pre-order කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ලබන දෙසැම්බර් මාසය වන විට අදාල devices ship කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

Samsung සමාගම ද ඔවුන්ගේ foldable phone එක පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව මේ වන විට දැනගන්නට ලැබෙන අතර තවමත් ඒ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.