Samsung සමාගම විසින් Microsoft සමාගමත් සමඟ මූල්‍යමය වශයෙන් වඩාත් වාසිදායක ගනුදෙනුවක් සඳහා අවස්ථාවක් උදාකර ගැනීම වෙනුවෙන් සිය Cloud storage සේවාව නවතා දැමීමට කටයුතු කරන බව මේ වන විට වාර්තා වෙනවා.

ඒ අනුව ලබන වසරේදී Samsung සමාගම විසින් Samsung Cloud සේවාවේ Gallery Sync සහ Drive storage යන පහසුකම් නිල වශයෙන් අවසන් කරන අතර සියලු දත්ත මකා දමනු ඇති නමුත්, මේ වෙනුවට Microsoft One Drive වෙත මේ පහසුකම් සම්බන්ධ කිරීමට ඔවුන් සූදානම් වෙනවා.

දත්ත සියල්ලම මකා දැමීමට පෙර Samsung Cloud පරිශීලකයින්ට Microsoft OneDrive වෙත මාරුවීමට හෝ නැතහොත් වෙනත් cloud storage සේවාවක් වෙතද මාරුවීම සඳහා ලබන වසර දක්වා කාලය ලබාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

Samsung සමාගම විසින් තමන්ගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ කලාපය අනුව කණ්ඩායම් දෙකකට වෙන් කර ඇති අතර එක් එක් කණ්ඩායම සඳහා වෙනස් කාල සීමාවන් ලබා දී තිබෙන අතර මෙම කාණ්ඩ කිරීමට අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ දෙවැනි කාණ්ඩයටයි.

Samsung Cloud
Samsung Cloud is an online storage space for all your stuff. You can use it to sync apps, back up devices, as well as store photos, videos, and more.
කාණ්ඩ කිරීම් පිළිබඳව විස්තර

පළමු කාණ්ඩය සඳහා ලබන මාසයේ සිට, නව පරිශීලකයින්ට Gallery Sync සහ Drive with My Files භාවිතා කිරීමට නොහැකි වනු ඇති අතර Samsung සමාගම විසින් මෙම කාලය වන විට OneDrive වෙත මාරුවීමට සහ data download කර ගැනීමට අවස්තාව ලබා දෙනු ඇත.

එමෙන්ම දෙවන කාණ්ඩය සඳහා මෙම වෙනස්කම මීළඟ දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බව ද Samsung සමාගම ප්‍රකාශ කරනවා.

පළමුවැනි කාණ්ඩය සඳහා 2021 අප්‍රේල් 1 වෙනිදාත්, දෙවැනි කාණ්ඩය සඳහා 2021 ජුනි 1 වෙනිදාත් දැනට පවතින Gallery Sync සහ Drive පහසුකම අත්හිටවනු ඇති අතර OneDrive වෙත සංක්‍රමණය වීම අවසන් වනු ඇත.

1 වන කාණ්ඩයේ පරිශීලකයින් හට 2021 ජුනි 30 වන දින දක්වා දත්ත download කර ගත හැක වන අතර, 2 වන කාණ්ඩයේ සාමාජිකයින්ට 2021 අගෝස්තු 31 දක්වා ඔවුන්ගේ ගොනු download කළ හැකි වෙනවා.

Gallery Sync සහ Drive support අවසන් වුවද, තවමත් contacts, calendars සහ notes Samsung Cloud වෙත sync කිරීමට හැකි වන බව සමාගම පවසන අතර OneDrive වෙත සංක්‍රමණය වීම සහ දත්ත download කර ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබන මාසයේ ඔක්තෝබර් 5 වනදා ලබා ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.