Huawei සමාගම විසින් සිය Harmony OS මෙහෙයුම් පද්ධතිය ඇතුළත් ජංගම දුරකථන නිකුත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර බොහෝ කටකතා පළ වූ අතර ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

මේ අතර 2021 වසර පමණ වන විට Harmony OS 2.0 සංස්කරණය ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකතන නිකුත් කිරීමට හැකි වනු ඇති බව Huawei සමාගම විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

පසුගියදා සාර්ථකව අවසන් වූ HDC, එනම් Huawei Developer Conference event එක අතරතුරදී මෙම තොරතුරු හෙළිකිරීමට Huawei සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Yu විසින් කටයුතු කළ අතර, ඒ අනුව 2020 දෙසැම්බර් වලදී Harmony OS Beta සංස්කරණය, Huawei ජංගම දුරකථන වලට නිකුත් කිරීමටත්, Harmony OS Stable version එකකින් බලගැන්වෙන ජංගම දුරකථන 2021 වසර තුළදී නිකුත් කිරීමටත් Huawei සමාගම අපේක්ෂා කරනවා.

මෙම වසරේ දෙසැම්බර් වන විට Harmony OS 2.0 හි beta version එක ජංගම දුරකථන සඳහා වන SDK, documentation, tools සහ simulator සමඟ developers ලා හට නිකුත් කිරීමට Huawei සමාගම සැලසුම් කර තිබෙනවා.

අනතුරුව Harmony OS 2.0 හි initial version එක, RAM අගය 128kb සිට 128mb දක්වා වූ (IoT) devices සඳහාත්, 2021 අප්‍රේල් මාසය වන විට 128MB සිට 4GB දක්වා වූ RAM අගයක් සහිත devices වලටත්, 2021 ඔක්තෝබර් මාසය පමණ වන විට RAM අගය 4GB සිට ඉහළට ඇති උපාංග සදහා නිකුත් කිරීමටත් Huawei සූදානම් වන බව Richard Yu විසින් තහවුරු කර තිබෙනවා.

කොහොම වුණත් මෙම තොරතුරු අනුව මූලික අදියර වලදී Harmony OS එක, RAM අගය 4GB වලට වඩා අඩු budget හා entry-level ජංගම දුරකථන වලට අන්තර්ගත වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

Android OS එක හා සමානවම Harmony OS එක ද open source මෙහෙයුම් පද්ධතියක් වන බව මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අනුව Harmony OS එක Huawei උපාංග වලට පමණක් සීමා නොවී, වර්තමාන Android හා සමානවම, ඕනෑම සමාගමකට එය තමන්ගේ ජංගම දුරකථන වලට ඇතුලත් කරවීමට හැකි වනු ඇති බව Huawei සමාගම පෙන්වා දෙනවා.

තවමත් ජංගම දුරකථන වලට නුහුරු මෙම නවතම මෙහෙයුම් පද්ධතිය Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය සමඟ කෙසේ තරඟ කරනු ඇත් ද යන්න පිළිබඳව පැවසීමට කල් වැඩි නමුත්, Huawei සමාගමේ මෙම සැලසුම අනුව එය Android වලට සාර්ථක විකල්පයක් වීමටද ඉඩ තිබෙන බව බොහෝ විශ්ලේෂකයින් මත පළ කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.