Windows 7 කියන්නේ තවමත් ලෝකෙයේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය කියන එක අපි කලින් ලිපියකිනුත් පෙන්වලා දුන් අතර මේ වෙනකොටත් ඔයාලා හැම කෙනෙක්ම වගේ දන්නවා ඇති.

නමුත් Microsoft සමාගම විසින් මේ Windows 7 වලට සහාය දැක්වීම 2020 වර්ෂයේ ජනවාරි 14 වැනිදායින් අවසන් කිරීමට කටයුතු කරනු ලබන බව නිවේදනය කර තිබෙනවා. මේ Windows 7 වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ගොඩක් ව්‍යාපාරික ආයතන වල වන අතර ඔවුන් තමන්ගේ පද්ධති වල ආරක්ෂාව පිළිබඳව විශාල සැළකිල්ලක් දක්වනු ලබනවා.

එසේ වුවත් මෑතකදී Microsoft සමාගම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙලි වුණේ මේ සමාගම් අතරින් විශාල සංඛ්‍යාවක් Windows 7 වලින් ඉවත් වී Windows 10 හෝ වෙනත් මෙහෙයම් පද්ධතියකට මාරු වීමට අදහසක් නොමැති බවයි.

මේ අතර අළුතින් සොයාගන්නා සියළුම security patches Microsoft සමාගම විසින් මේ වසර 9ක් පැරණි මෙහෙයුම් පද්ධතියටත් ගැලපෙන ලෙස සකසනු ලබන අතර එය 2020 දී නතර කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම නමුත් මේ කාලසීමාවෙන් පසුව යම්කිසි ආයතනයකට අවශ්‍යය නම් මුදල් ගෙවා අදාල සහාය ලබාගතහැකි බව Microsoft සමාගම මේ වන විට ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර මේ මුලද පිළිබඳව තවමත් තොරතුරු වාර්ථා වෙන්නේ නැහැ. කොහොම වුණත් අදාල PC ප්‍රමාණය මත අයකිරීම තීරණය වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.