මේ වසර අවසානය වන විට පෞද්ගලික පරිගණක වල Windows 7 පැතිරීම අභිබවා යන්නට Windows 10 වලට හැකි වේවි යැයි NetMarketShare යන ආයතනය පෙන්වා දෙනවා.

2009 වර්ෂයේදී මුල් වරට නිකුත් වුණු Windows 7 මෙහෙයුම් පද්ධතිය ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණේ ඊට කලින් නිකුත් කළ මෙහෙයුම් පද්ධති වලට වඩා එහි තිබූ stability එකට හා speed එක මෙන්ම මෘදුකාංග සෑහෙන ප්‍රමාණයක් සමඟින් ඉතාමත් හොඳින් කටයුතු කිරීම වැනි තවත් විශේෂ ගුණාංග රාශියක් හේතු කොටගෙනයි.

2015 වර්ෂයේදී නිකුත් කළ Windows 10 මෙහෙයම් පද්ධතිය Windows 7, 8 හා 8.1 වලට නොමිලයේ ලබාදෙන update එකක් ලෙස නිකුත් කර Windows වල ගමන වෙනස් කළ හැරවුම් ලක්ෂයක් ලෙස බොහෝ දෙනා පෙන්වා දුන්නත්, මේ වන විටත් Windows 10 භාවිතා කරනු ලබන පිරිස Windows 7 බාවිතා කරන පිරිසට වඩා අඩු අගයක් ගනු ලබනවා.

Operating System Market Share

කොහොම නමුත් පසුගිය මස වන විට Windows 7 භාවිතා කරන්නන් 41.23% සිට 40.27% දක්වා අඩු වීමක් පෙන්වන අතර Windows 10 භාවිතා කරන්නන් 36.58% සිට 37.80% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ තත්ත්වය වසර අවසානය දක්වා පැවතුනහොත් මෙම වසර අවසානය වන විට දීර්ඝ කාලයක් තිස්සේ Microsoft සමාගම බළාපොරොත්තුවෙන් සිටි පරිදි Windows 7 අභිබවා Windows 10 ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය බවට පත්වනු ඇත.