WhatsApp, Messenger සහ Instagram සේවාවන් එකතු කිරීම සඳහා Facebook ආයතනය තීරණය කර ඇති බව, අපි මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

මේ ක්‍රියාවලිය සිදු කිරීමේ අතුරු ප්‍රතිඑලයක් ලෙස Instagram සේවාවේ messaging සඳහාම වෙන් වූ Direct app එක නවත්වා දැමීමට Facebook ආයතනය මේ වන විට තීරණය කර තිබෙන අතර දැනටමත් මේ පහසුකම ප්‍රධාන Instagram app එකට එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මූලිකව Direct app පරිශීලකයෙකු වූ Matt Navarra විසින් මේ පිළිබඳව Tweet එකක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණු අතර මේ වන විට Instagram app එක තුළ නිළ වශයෙන් නිවේදනයක් දර්ශනය කරවීමට Instagram ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ Direct app එක 2017 වර්ෂයේදී Snapchat වලට අභියෝගයක් එල්ල කිරීමේ අරමුණින් රටවල් කිහිපයකට පමණක් ලබාගත හැකි ලෙස එළිදැක්වීමට Facebook ආයතනය කටයුතු කළ අතර එම වසරේ දෙසැම්බර් වන විට මිලියන 375ක පරිශීලකයන් පිරිසක් එම සේවාව හා සම්බන්ධ වී ඇති බව ප්‍රකාශයට පත් කර තිබුණා.

කොහොම නමුත් එයින් පසුව මේ පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීමට මොවුන් කටයුතු කර නොතිබූ අතර මේ වන විට මෙම සේවාව නවත්වාදැමීම හරහා මෙහි ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු වී ගිය බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.