Gartner සමාගම විසින් කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස Huawei සමාගම ලොව දෙවන විශාලතම ජංගම දුරකථන අලෙවිකරුවා බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම වාර්ථාව අනුව මේ වසරේ දෙවන කාර්තුවේදී ජංගම දුරකථන මිලියන 49.8ක් අලෙවි කරමින් සමස්ථ ජංගම දුරකථන වෙළඳපොලෙන් 13.3% ක ප්‍රමාණයකට හිමිකම් කීමට Huawei සමාගම සමත් වී තිබෙනවා. Apple සමාගම ඔවුන්ගේ ජංගම දුරකථන මිලියන 44.7ක් අලෙවි කිරීමට සමත් වී ඇති අතර සමස්ථ වෙළඳපොලෙන් 11.9% කට හිමිකම් කියනු ලබනවා.

පසුගිය වසරේදී සමස්ත ජංගම දුරකථන වෙළඳපොලින් 9.8%ක ප්‍රමාණයක් Huawei සමාගම ලබාගෙන තිබූ අතර මේ වසරේදී 13.3% ක ප්‍රමාණයක් දක්වා තම වෙළඳපොල වර්ධනය කරගෙන තිබෙන බවක් මේ අනුව දැකගත හැකි වෙනවා. එමෙන්ම 2017 වර්ෂයේදී දෙවන තැන හිමි කරගෙන සිටි Apple සමාගම ඒ වන විට 12.1% ක ප්‍රමාණයක් හිමි කරගෙන සිටි අතර මේ වන විට 11.9% කට ඔවුන්ගේ වෙළඳ අධිකාරෙයෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.

Samsung සමාගම තවමත් ජංගම දුරකථන අලෙවියෙහි ප්‍රමුඛයා වන අතර Huawei, Apple පිළිවලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනු ලබනවා. එමෙන්ම Xiaomi සහ Oppo හතරවන සහ පස්වන ස්ථාන හිමි කරගනිමින් අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයින් අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතරින් Xiaomi සමාගම පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ඉහල විකිණුම් අගයක් පෙන්වන අතර පසුගිය වසරේදී මිලියන 21ක් පමණ වූ විකිණුම් ප්‍රමාණය මෙම වසර වන විට මිලියන 33ක් දක්වා වැඩිදියුණු කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. එමෙන්ම සමස්ථ ජංගම දුරකථන වෙළඳපොලින් 8.8%ක ප්‍රමාණයකට හිමිකම් කියන්නත් ඔවුන් සමත් වී තිබෙනවා.

මේ අතර 22.6% ක වෙළඳ අධිකාරයකට හිමිකම් කී Samsung සමාගම මේ වන විට යම් තරමක පසුබෑමක් පෙන්නුම් කරනු ලබන අතර එය 19.3% පමණ වන බවට ගණන් බලා තිබෙනවා. එනමුත් තවමත් අනෙකුත් සියළුම සමාගම් අභිබවා ඉදිරියෙන්ම සිටින්නේ Samsung සමාගමයි.

Gartner සමාගමේ ඉහත වාර්ථාව අනුව ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වල වෙළඳ අධිකාරය සළකා බලන විට 88%ක ප්‍රමාණයක් Androd ජංගම දුරකථන වලට ලැබෙන අතර iOS භාවිතා කරන්නේ 11.9ක ප්‍රමාණයක් පමණක් බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.