ලොව පුරා ව්‍යාපාරික ආයතන වල ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වශයෙන් තවමත් මූලිකත්වය දරන්නේ Windows 10 බව අමුතුවෙන් සඳහන් කරන්නට වුවමණා වෙන්නේ නැහැ.

එමෙන්ම පසුගිය වසර කිහිපය පුරා Google සමාගමෙහි G-suite එක ලොව පුරා ව්‍යාපාර අතර බොහොම ජනප්‍රිය product එකක් බවට පත් වුණා. මේ හේතුවෙන් බොහෝ ආයතන Microsoft Office 365 වලින් Google G-suite එකට මාරු වෙන්නට කටයුතු කළත්, ඔවුන්ට අවශ්‍යය අනෙකුත් පහසුකම් ලබා දීමට Google සමාගමට ඔවුන්ගේම operating system එකක් නැති බව අපි කවුරුත් හොඳින් දන්නවා.

ඉතින් බොහෝ ආයතන මේ Windows 10 සහ G-suite එකට භාවිතා කරනු ලබන නිසාවෙන් "Google Credential Provider for Windows" නම් වූ Google account එක භාවිතා කර Windows 10 වලට පිවිසීමේ පහසුකමක් එකතු කිරීමට සූදානමින් සිටින බව ChromeStory කියන වෙබ්සයිට් එක විසින් වාර්ථා කරනු ලබනවා.

google-credential-provider-windows-tech-news-sri-lanka

මේ පහසුකම හරහා Chrome browser එක Windows 10 මතදී Credential Manager සේවාවක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර, එය Windows 10 වලදී password manager app එකක් ලෙස භාවිතා කිරීමටද අනාගතයේදී අවස්ථාව ලැබෙනු ඇති බව මොවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ අනුව භාවිතා කරන්නා Google account එක හරහා login වීමට උත්සාහ කළ විට Google සමාගමට අයත් OAuth 2.0 API එක හරහා verify කිරිමට කටයුතු කරනු ලබන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය මත අළුත් user account එකක් නිර්මාණය කිරීම හෝ දැනටමත් තිබෙන user account එකකින් login වීම සිදු කරනු ලබනවා.

කොහොම නමුත් මේ Chromium ව්‍යාපෘතියට එකතු වන සමහර පහසුකම් මෙලොව එළිය දකින්නටත් පෙර ම එයින් ඉවත් වන අවස්ථා ද නැතුවා නොවේ. එබැවින් මෙය ඉදිරියේදී සියළුම භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට මෙන්ම මෙයින් ඉවත් කිරීමට ද හැකියාව තිබෙනවා.