අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරනු ලබන සියළුම ක්‍රියාකාරමක්ම පාහේ ආරම්භ වන්නේ DNS query එකක් මත පදනම් වී වන බව TechNews.LK සමඟ රැඳී සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති.

මේ DNS හරහා server වලට assign කර ඇති IP Address මිනිසුන්ට පහසුවෙන් මතක තබාගත හැකි වෙබ් ලිපින බවට පරිවර්ථනය කරනු ලබන බව අපි TechRoom ලිපියකින් මීට කලින් ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් මේ වන විට අපි භාවිතා කරනු ලබන සියළුම අන්තර්ජාල සේවාවන් හරහා ම පාහේ අපි යන එන වෙබ් අඩවි මොනවාද යන්න සේවා සපයන්නාට දැකගැනීමට හැකියාව තිබෙන බවත් ඔබ දන්නවා ඇති.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ මේ DNS query හුවමාරු කිරීම සඳහා භාවිතා කරන  UDP සහ TCP protocol වලදී ගෙන යන දත්ත encryption කිරීමකින් තොරව plain text ආකාරයෙන් හුවමාරු කිරීමයි.

ඉතින් මේ හරහා ගමන් කරන දත්ත සේවා සපයන්නාට අමතරව වෙනත් පුද්ගලයෙකුට වුවත් හඳුනාගෙන ඒ හරහා අපි භාවිතා කරන වෙබ් අඩවි මෙන්ම අන්තර්ජාල සේවාවන් පිළිබඳ විස්තර ගැන දැනගැනීමට හැකියාවක් තිබෙනවා.

මේ ගැටළුවට විසඳුමක් ලෙස DNS over TLS කියන security protocol එක හඳුන්වා දී තිබුණත් මෙය භාවිතා කිරීමට අපගේ operating system මෙන්ම DNS servers වල සහාය දැක්වීමද තවමත් පවතින්නේ ඉතාමත් ප්‍රාථමික අවධියකයි.

කොහොම නමුත් Google සමාගම විසින් ඔවුන්ගේ DNS සේවාව වන 8.8.8.8 සහ 8.8.4.4 යන servers වල මේ DNS-over-TLS protocol එක සඳහා සහාය දැක්වීම ආරම්භ කර තිබෙන බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කොහොම වුණත් මේ වන තුරුත් Windows හෝ macOS භාවිතා කරන්නන් හට මේ පහසුකම භාවිතා කිරීම සඳහා පහසු ක්‍රමයක් හෝ operating system එක හරහා ලබා දී නොමැති අතර Android Pie සහ Linux භාවිතා කරන්නන් හට මෙම පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.


ඉහත සඳහන් කළ පහසුකම තවමත් Android මෙහෙයුම් පද්ධතිය තුල වුවත් Android Pie භාවිතා කරන්නන් හට පමණක් සීමා වී තිබෙන නමුත් මෙම කාර්යය සිදු කරගැනීම සඳහා Cloudflare ආයතනය විසින් ඔවුන්ගේ public DNS සේවාව වන 1.1.1.1 හරහා ක්‍රමයක් මීට ටික කළකට කලින් හඳුන්වා දෙනු ලැබුවා.

මේ ගැන අපි ඔබව මීට කලින් ලිපියකින් දැනුවත් කරන්නට කටයුතු කර තිබෙන අතර වැඩිදුර විස්තර දැනගැනීම සඳහා "Cloudflare විසින් ඔවුන්ගේ 1.1.1.1 DNS සේවාව iOS සහ Android වෙත නිකුත් කරයි" යන ලිපිය භාවිතා කළ හැක.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Hacker News වෙබ් අඩවිය හා නිළ Google Blog එක භාවිතා කළ හැක.