මේ වසරේ අප්‍රේල් මාසයේ පළමුවැනිදා, එනම් මෝඩයාගේ දිනයේදී Cloudflare ආයතනය විසින් ඔවුන්ගේ 1.1.1.1 DNS සේවාව මහජනයාට භාවිතා කිරීම වෙනුවෙන් නිකුත් කළා මතක ඇති.

ඉතින් මේ නිවේදනයත් සමඟින්, ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන් විශාල ප්‍රමාණයක් මේ DNS සේවාව භාවිතා කරන්නට පටන් ගත්තා.

DNS සේවාවක් කියන්නේ මොකක් ද කියලා දන්නේ නැති අය වෙනුවෙන් සරළව කියනවා නම්, අපි භාවිතා කරන වෙබ් අඩවි හැම එකක්ම ගබඩා කරලා තියෙන්නේ server පරිඝනකයක වන අතර ඒ හැම server එකකටම අයත් වුණු IP Address එකක් තියනවා.

නමුත් මිනිස්සුන්ට ඉලක්කම් වලින් මේ වෙබ් අඩවි මතක තියාගන්න අපහසු නිසා ඒ වෙනුවෙන් domain names භාවිතා කරන්නට අපි යොමු වෙලා තියනවා. ඉතින් අපි මේ domain name එකක් අපේ web browser එකට ඇතුලත් කළ විට, ඒ domain name එකට අදාල IP Address එක හොයාගන්න අපිට විදිහක් තියෙන්න ඕන.

අන්න ඒ වෙනුවෙන් තමයි මේ DNS සේවාවන් නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි google.lk ලෙස ඇතුලත් කළ විට DNS server එක අපිව 216.58.203.131 කියන IP Address එක සහිත server එකේ තිබෙන google.lk එකට අයත් වෙබ් අඩවිය වෙත යොමු කරවනවා.

ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපි යන හැම වෙබ් අඩවියක් ගැනම මේ DNS සේවාව අයිති කෙනා දැනුවත් වෙනවා කියලා.

මේ සේවාව විශේෂ වීමට ප්‍රධානතම හේතු වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ, බොහෝමයක් වෙනත් (Google DNS - 8.8.8.8 වැනි) DNS සේවා සපයන්නන් තම පරිශීලකයන්ගේ තොරතුරු, එනම් ඔවුන් භාවිතා කරන වෙබ් අඩවි වැනි දෑ මේ DNS සේවාව හරහා ලබාගෙන ඒවා අලෙවි කිරීම හෝ අලෙවි ප්‍රවර්ධනය සඳහා භාවිතා කරනු ලබන නමුත්, මේ Cloudflare සමාගම විසින් මෙසේ පරිශීලක දත්ත අවභාවිතා නොකිරීමයි.

එමෙන්ම, මෙම DNS සේවාව ලොව වේගවත්ම DNS සේවාව වන බවත්, මේ හරහා කිසිඳු රටකට කිසිඳු වෙබ් අඩවියක් අවහිර කිරීමකින් තොරව ලබා දෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව ලංකාවේ සේවා සපයන්නන් විසින් block කර ඇති බොහෝ වෙබ් අඩවි භාවිතා කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.

කොහොම වුණත් මුල් කාළයේ ඉඳන්ම මේ DNS settings සකසා ගැනීම ‍PC එකක වුණත්, router එකක වුණත්, mobile phone එකක වුණත් ටිකක් complex කටයුත්තක් වුණා.

ඔන්න දැන්, ඔවුන් මෙම සේවාව අපේ mobile phone එකේදී ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස app එකක් ආකාරයෙන් නිර්මාණය කර, නිකුත් කිරීමට Cloudflare සමාගම කටයුතු කර තිබෙනවා.

මේ App එක Android සහ iOS වලට මේ වන විට නිකුත් කර ඇති අතර Google Play Store එකෙන් හා App Store එකෙන් මෙය නොමිලයේ download කරගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Cloudflare blog එක සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.