2021 ජුනි 28 වෙනිදා Facebook ආයතනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.008 ක අගයක් වාර්තා කරමින් ඔවුන්ගේ වෙළඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයේ සීමාව පසු කිරීමට සමත් වූ අතර මේ සමඟ ඩොලර් ට්‍රිලියනයක වෙලඳපොළ වටිනාකම පසුකල ලොව පස්වෙනි ඇමරිකානු සමාගම බවට පත්වීමට Facebook සමාගමට හැකියාව ලැබි තිබෙනවා.

මීට පෙර Apple, Microsoft, Amazon සහ Alphabet යන ඇමරිකානු සමාගම් හතර මෙලෙස ඩොලර් ට්‍රිලියනයේ සීමාව පසු කිරීමට සමත් වී ඇත.

Facebook ආයතනයේ මෑතකදි කොටස් වල මිල සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති අතර, එයට හේතුව ලෙස සැලකෙන්නේ ඇමරිකානු Federal Trade Commission එක විසින් Facebook ආයතනයට විරුද්ධව ගොනු කර තිබූ ඒකාධිකාරය පිලිබඳ නඩුව සාක්ශි අවම වීම නිසා අධිකරණය විසින් එය නිෂ්ප්‍රභ කිරීමයි.

Facebook ආයතනය මේ වනවිට, වඩාත් කැපී පෙනෙන divisions ලෙස Instagram, Messenger, WhatsApp සහ Oculus යන ව්‍යාපාරයන් පෙන්වා දිය හැකිවෙනවා. එමෙන්ම මෙලෙස ඩොලර් ට්‍රිලියන‍යේ වටිනාකම පසු කළ ඇමරිකානු සමාගම් පහෙන් ලාබාලතම සමාගම වන්නේද 2004 දී Mark Zuckerberg විසින් ආරම්භ කළ Facebook සමාගමයි.

Facebook ආයතනයට අමතරව Google ආයතනය අයිති වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 1.68 ක වටිනාකමකුත්, Amazon ආයතනය ඩොලර් ට්‍රිලියන 1.87 කුත්, Microsoft ආයතනය ඩොලර් ට්‍රිලියන 2.11 ක් සහ Apple සමාගම ඩොල‍ර් ට්‍රිලියන 2.51ක වටිනාකමකිනුත් සමන්විත වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Yahoo Finance වෙබ් අඩවිය භාවිතා කළ හැක.