ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Huawei සමාගම සඳහා වෙළඳ තහනමක් පැනවීම සහ එය ඉවත් කිරීමෙන් පසුව, end-to-end encryption තහනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

ඔයා නිතරම techie සමඟ රැඳී ඉන්න කෙනෙක් නම් මේ end-to-end encryption යනුවෙන් හැඳින්වෙන ආරක්ෂක ක්‍රමය ගැන මේ වන විටත් හොඳ අවබෝධයක් ඇති. සරළව end-to-end encryption ක්‍රමයක් භාවිතා කිරීම මගින් යම්කිසි තොරතුරක් වෙනත් තැනකට යවනු ලබන විට එය වෙනත් පුද්ගලයන් හට දැනගැනීමට නොහැකි වන ලෙස encrypt, එහෙමත් නැතිනම් හඳුනාගත නොහැකි සංකේත ගොඩක් බවට පත් කරනු ලබන අතර, පණිවිඩය අදාල ස්ථානයට ගිය පසු නැවතත් යථා තත්ත්වයට පත් වෙනවා.

මෙය WhatsApp, Viber වැනි instant messaging සේවාවන්ගේ සිට ආයතනික මට්ටමින් භාවිතා කරනු ලබන තොරතුරු පද්ධති මෙන්ම mission critical information systems දක්වා පරිසයක පැතිර පවතිනවා.

මේ අනුව Google, Apple වැනි ඇමෙරිකානු සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන වලට අන්තර්ගත කරනු ලබන end-to-end encryption ක්‍රමයන් තහනම් කිරීමට සූදානම් වන අතර මේ encryption ක්‍රමයන් නොමැතිව අදාල සේවාවන් භාවිතා කරන විට, අප විසින් යවනු ලබන messages වල සිට passwords, credit card details වැනි දත්ත පවා රාජ්‍යය නිළධාරීන්ට පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ වන විට ලොව පුරා ඉතාමත් දක්ෂ හැකර්වරුන්ගෙන් encrypt කරන ලද දත්ත පවා ආරක්ෂා කරගැනීමට නොහැකිව පවතින් අවධියක, යම් හෙයකින් මෙම කටයුත්ත සිදු කිරීමට කටයුතු කළහොත් ඉහත සඳහන් කළ දත්ත හා තොරතුරු වලට access ලැබෙන්නේ රාජ්‍යය නිළධාරීන්ට පමණක් නොවන බව විශේෂයෙන්ම මතක තබාගත යුතු කාරණයක් වෙනවා.

මෙහි ඇති භයානක කම නිසාවෙන්ම DHS (Department of Homeland Security), එහෙමත් නැතිනම් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද මීට පක්ෂව හා විපක්ෂව දෙපාර්ශවයකට බෙදී සිටින බව වාර්ථා වෙනවා.

2015 වර්ෂයේදී California වල San Bernardino නගරයේ ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාල සැකකරුවෙකු භාවිතා කළ iPhone ජංගම දුරකථනය unlock කර දීම Apple සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමේ කාරණය මෙම මාතෘකාව ඉහළට එසවීමට හේතු වී ඇති බවත් වාර්ථා වෙනවා.

(Apple සමාගම විසින් අදාල iPhone එක unlock කර දීම ප්‍රතික්ෂේප කලත්, වෙනත් ආයතනයක් හරහා එය unlock කරගැනීමට ඇමෙරිකානු රජය සමත් වී තිබුණා.)

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, BGR වෙබ් අඩවිය හා Politico වෙබ් අඩවිය භාවිතා කළ හැක.