ඇමෙරිකාව හා චීනය අතර පවතින ආර්ථික යුද්ධය මේ වන විට උග්‍ර අවස්ථාවක පවතින අවස්ථාවකදී Apple සමාගම තමන්ගේ Mac Pro නිෂ්පාදනාගාර චීනය වෙත ගෙන යාමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

Apple සමාගම වෙනුවෙන් Mac Pro පරිගණක නිෂ්පාදනය කරනු ලබන සමාගම වන Quanta Computer ආයතනය මේ වන විටත් මෙම ස්ථාන මාරුව සඳහා අවශ්‍යය වන කටයුතු සූදානම් කරමින් පවතින අතර, මේ අනුව ඇමෙරිකාවේ Austin වල පැවති Mac Pro නිෂ්පාදනාගාර, චීනයේ Shanghai වලට ගෙන යනු ඇත.

මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්ථා වන්නේ Mac Pro පරිගණක නිෂ්පාදනය සඳහා ලබා ගනු ලබන අමුද්‍රව්‍යය සැපයුම්කරුවන් සියල්ලක්ම පාහේ Quanta ආයතනයේ චීනයේ නිෂ්පාදනාගාර ආශ්‍රිතව පිහිටා තිබීම නිසාවෙන්, අමුද්‍රව්‍යය ප්‍රවාහනයට ගත වන කාලය සහ මුදල් ඉතිරිකර ගනිමින් Mac Pro පරිගණක වල නිෂ්පාදන වියදම සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට Apple සමාගමට හැකියාව ලැබීමයි.

තවමත් Apple සමාගම විසින් මේ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් සිදු කර නොමැති නමුත් ඉතාමත් ඉක්මණින් Shanghai වල ඇති Quanta නිෂ්පාදනාගාර වල නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, CNN වෙබ් අඩවිය හා Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.