ශ්‍රී ලංකාව තුළ තවමත් එතරම්ම ජනප්‍රියත්වයට පත් වී නැතුවා වුවත් Google සමාගමේ ChromeOS යනු, බොහෝ යුරෝපීය හා ආසියාතික රටවල පාසැල් සිසුන් සහ ලිපි ලේඛන කටයුතු සඳහා Laptop භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකෙනවා.

ඊට හේතුව වී තිබෙන්නේ දැනට තිබෙන ජනප්‍රියතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත්, මා කලින් සඳහන් කළ පරිදි පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට මෙම Windows මෙහෙයුම් පද්ධතිය user friendly නොවීමත් වෙනවා.

මේ සරල පරිගණක මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ChromeOS මඟින් සපුරාලමින් සිටින අතර, මෙම මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය නිසාම Microsoft සමාගම විසින් ChromeOS සමඟ තරග කිරීම සඳහා Windows 10S mode, Windows 10X වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා.

කෙසේ නමුත් Windows 10S mode එක අසාර්ථක වූ අතර Windows 10X මෙහෙයුම් පද්ධතියද අතහැර දැමීමට කටයුතු කළ බවත්, ඒ වෙනුවට දැනට ඇති Windows 10 මෙහෙයුම් පද්ධතියම සරළ කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගියදා Microsoft සමාගම නිවේදනය කරනු ලැබුවා.

Samsung, Asus, Acer වැනි සමාගම් දැනටමත් Chrome OS මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන ChromeBook නිපදවන සමාගම් වන අතර මෙම ChromeBook, Windows ධාවනය වන Laptop වලට වඩා සැලකිය යුතු ලෙස මිලෙන් ද අඩු වෙනවා.

Google Chromebooks - Laptops, Detachables and Tablets
Chromebooks are laptops, detachables and tablets powered by Chrome OS: the operating system that is speedy, smart and secure.

කොහොම උනත් ඔන්න දැන් Asus සමාගම අඟල 17.3 ක සුවිසල් තිරයක් සහිත Chromebook එකක් එළඹෙන අගෝස්තු මාසයේදී එළිදක්වන්නට සූදානමින් සිටින අතර ඉදිරියේදී එය මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම Chromebook එක බවට පත් වෙනු ඇති.

අඟල 17.3 ක තිරය සම්පූර්ණයෙන්ම Full HD තිරියක් වනු ඇති අතර ඊට අමතරව මෙම සුවිසල් Chromebook එක Intel Jasper Lake Celeron N5100 හෝ Pentium Silver N6000 processor එකකින් බලගැන්වෙනු ඇති.

එමෙන්ම මෙම Chromebook එක 4GB RAM එකක් (බොහෝ දුරට 8GB ද විය හැකියි) සහ 64GB internal storage එකකින්ද සමන්විත වෙනවා.

වාර්තා වෙන පරිදි මෙහි ආරම්භක මාදිලියේ මිල $300 ක් පමණක් වන අතර, ඉහලම මාදිලිය $580 ක් පමණ (ආසන්න වශයෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසක් පමණ) වනු ඇති බවත් සදහන් වෙනවා.

කලින් සඳහන් කළ පරිදි මෙම සුවිසල් Chromebook එක මෙම වසරේ අගෝස්තුවේ දී නිකුත් කරන්නට Asus සමාගම කටයුතු කරමින් සිටින අතර, ඒ අනුව මේ පිළිබඳ තවත් විස්තර අපට නුදුරු අනාගතයේදී දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Chromeunboxed වෙබ් අඩවිය සහ Slashgear වෙබ් අඩවිය භාවිතා කළ හැක.