පසුගිය ජනවාරි මාසයේදී දුර්වලතාවයක් නිසාවෙන් Group FaceTime පහසුකම තාවකාලිකව අත්හිටුවීමට Apple සමාගම කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Apple Watch එක තුළ අන්තර්ගත වන Walkie Talkie පහසුකම භාවිතා කිරීමේදී වෙනත් ඕනෑම කෙනෙකු හට එයට සවන් දීමේ හැකියාව ලබාගත හැකි බව හෙළි වීමත් සමඟින්, එම පහසුකම ද තාවකාලිකව නවතා දැමීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Apple Watch එක මතදී Walkie Talkie app එක භාවිතා කරමින් තවත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමේදී, පැරණි ජංගම දුරකථන වල ඇති පහසුකමක් වන PTT (Push to talk) පහසුකම භාවිතා කරමින් අදාල පණිවිඩ වලට සවන්දීමේ හැකියාව ඇති බව දැනගන්නට ලැබෙනවා.

කොහොම නමුත් මෙම තත්ත්වයට මූලික වන bug එක පිළිබඳව වැඩි විස්තරයක් තවමත් වාර්ථා නොවන අතර මීට අදාල fix එක update එකක් හරහා ලබා දී, සියළු පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු වූ පසුව මෙය හෙළි කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ පහසුකම ඉහත සඳහන් කළ ආකාරයට අවභාවිතා කරනු ලැබූ බවට වාර්ථා නොවන නමුත් Apple නිෂ්පාදන වල දුර්වලතා ගැන report කිරීම සඳහා නිර්මාණය කර ඇති vulnerability reporting system එක හරහා ලැබුණු වාර්ථාවක් අනුව මෙම තත්ත්වය හඳුනාගත් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම Walkie Talkie පහසුකම තාවකාලිකව නවත්වා දැමීම හරහා අපහසුතාවයට පත් වූවන් පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර තම පරිශීලකයන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් ලෙස සළකනු ලබන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගත් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Softpedia‍ වෙබ් අඩවිය භාවිතා කළ හැක.