ඊයේ, එනම් ඔක්තෝම්බර් 30 වැනිදා පැවති Apple special event එක ගැන බොහෝමයක් විස්තර ‍අපේ Techie Live සේවාව සමඟ එකතු වුණු අය නම් මේ වෙනකොටත් දන්නවා.

කොහොම වුණත් මේ event එක හරහා එළිදැක්වුණු iPad Pro එක, MacBook Air එක, Mac Mini එක ඇතුළු එහි වූ විශේෂිතම එළිදැක්වීම් ගැන විස්තර මේ ලිපිය ඔස්සේ රැගෙන එන්නට අපි කටයුතු කරනවා.

මෙම Event එකේ highlights
MacBook Air

Event එක ආරම්භයේදීම එළිදැක්වීමට කටයුතු කළ MacBook Air එක වසර ගණනාවකට පසු MacBook Air මාදිලියේ සිදු වුණු වැදගත්ම වෙනස්කම් රාශියකින් සමන්විත වූ අතර මෙය අඟල් 13.3ක Retina display එකකින් third-gen butterfly keyboard එකකින්, TouchID පහසුකමින් මෙන්ම කලින් මාදිලි වලට වඩා 50% ප්‍රමාණයකින් කුඩා bezels වලින් යුතු වුණා.

මීට අමතරව track-pad එක තවත් 20%ක ප්‍රමාණයකින් විශාල කර ඇති අතර මෙයට අන්තර්ගත කර ඇති speaker ද පැරණි මාදිලියට වඩා 25%ක ප්‍රමාණයකින් ශබ්ධයෙන් වැඩි වන බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම මේ අලුත් MacBook Air එකට Apple Siri ඇතුලත් කර ඇති අතර headphone jack එක සහ USB-C port දෙකකින් ද මෙය සමන්විත වෙනවා.

මේ අලුත් MacBook Air එක 8th Gen Intel dual-core CPU එකකින් බළගැන්වෙන අතර පිළිවෙලින් 16GB දක්වා RAM එක සහ 1.5TB දක්වා SSD storage එක upgrade කිරීමට ද හැකියාව ලැබෙනවා.

එමෙන්ම MacBook Air එකේ දැනට පවතින මාදිලියේ බරට වඩා ග්‍රෑම් 100ක් පමණ ප්‍රමාණයකින් අලුත් මාදිලිය බරින් අඩු වන අතර මෙහි base model එක වන 8GB RAM එක සහ 128GB SSD storage එකක් ඇති මාදිලියෙහි මිළ සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 1,199ක් ලෙසයි.

Mac Mini

මෙම event එකේදී එළිදැක්වීමට කටයුතු කළ එළිදැක්වීම් අතරින් විශේෂිත device එකක් ලෙස Mac Mini එක සඳහන් කළ හැකි අතර මෙය ද 8th Gen quad-core (4) හෝ hexa-core (6) CPU එකක් අන්තරගත කර ලබාගතහැකි වන අතර පසුගිය Mac Mini මාදිලියට වඩා 5 ගුණයක් මෙය වේගවත් බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මේ අලුත් Mac Mini එකේ RAM එක 64GB දක්වා ද, SSD storage එක 2TB දක්වා ද upgrade කළ හැකි අතර USB-A port දෙකකින් ද,  Thunderbolt/USB-C port 4කින් සහ Ethernet port එකකින් සමන්විත වන මෙහි පෙනුම නම් පැරණි මාදිලියටම සමානකමක් දක්වනවා.

මේ Mac Mini පරිඝනක එදිනෙදා භාවිතයට ගැනීම මෙන්ම මේවා servers නිර්මාණය කිරීම සඳහාද භාවිතා කළ හැකි බව උදාහරණ සහිතව පෙන්වා දෙන්නට Apple සමාගම කටයුතු කළා.

Quad-core Intel Core i3 processor එකකින්, 8GB Ram එකකින් සහ 128GB SSD එකකින් සමන්විත මෙහි Base model එක ඇමෙරිකානු ඩොලර් 799ක මුදලකට ඊයේ දින සිට ඇනවුම් කිරීමට අවස්ථාව තිබෙනවා.

iPad Pro

Event එකට කලින්ම කටකතා වලින් පැතිරී ගිය පුවත් සනාථ කරමින් මෙවර iPad Pro එකේ home button එක ඉවත් කර, iPhone X එකේ හඳුන්වාදුන් gesture based navigation system එක අලුත් iPad Pro එකට අන්තරගත කිරීමට Apple සමාගම කටයුතු කර තිබූ අතර FaceID පහසුකම ද එකතු කිරීමට කටයුතු කර තිබුණා.

මෙය අඟල් 12.9 ක display එකකින් සමන්විත වන අතර පැරණි මාදිලියට වඩා තුනී බවකින් හා පළලින් අඩු bezels වලින් යුක්ත වෙනවා. මේ අලුත් iPad Pro එක බළගැන්වෙන්නේ Apple A12X Bionic chip එකකින් වන අතර පැරණි මාදිලියට වඩා මෙය 35%ක ප්‍රමාණයකින් බලගතු බවත් විශේෂයෙන්ම පැරණි මාදිලියට වඩා 1000x ගුණයකින් මෙහි graphic processing හැකියාව වැඩි බවත් ප්‍රකාශ කර සිටියා.

මෙහි battery power එක දිනයකට සෑහෙන බවත්, USB-C port එකක් ඇතුලත් කිරීම නිසාවෙන් මෙම iPad එක හරහා ඔබගේ iPhone එක හෝ වෙනත් devices charge කරගැනීමේ (reverse charging) හැකියාව තිබෙන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

මේ අලුත් iPad Pro එකෙහි ද headphone jack එකක් අන්තර්ගත නොවන අතර අඟල් 11ක iPad Pro එක ඇමෙරිකානු ඩොලර් 799ක මුදලකට හා අඟල් 12.9ක මාදිලිය ඩොලර් 999ක මුදලකටත් ඊයේ දින සිට ඇනවුම් කළ හැකි බවත් Apple සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

Accessories

ඉහත සඳහන් කළ iPad Pro එකත් සමඟින් Apple සමාගම ඔවුන්ගේ Apple Pencil 2 එක ද එළිදක්වන්නට කටයුතු කළ අතර මෙය magnet එකක් එහෙමත් නැතිනම් කාන්දම් බළය භාවිතා කරමින් iPad එක සමඟින් රඳවා තබාගතහැකි ක්‍රමයකට හැඩගස්වන්නට ඔවුන් කටයුතු කර තිබුණා.

ඊට අමතරව මේ අලුත් Apple Pencil එක එලෙස iPad Pro එක සමඟින් සම්බන්ධ කර තිබෙන විට එය wireless ආකාරයෙන් charge වීම ද සිදු වන බව ඔවුන් පෙන්වා දුන්නා.

මීට අමතරව iPad Pro එක සඳහා මේ ආකාරයේ කාන්දම් බලයෙන් attach වන Smart Keyboard එකක් ද හඳුන්වා දීමට ද මොවුන් කටයුතු කළ අතර Surface Pro එක සඳහා Microsoft ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන Keyboard එක මෙන්ම angle දෙකක් මේ keyboard එකට ද ඇතුලත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් Apple Pencil 2 එක ඇමෙරිකානු ඩොලර් 99ක් ලෙස මිළ සඳහන් වන අතර Smart Keyboard එක පිළිවෙලින් අඟල් 11 මාදිලිය ඩොලර් 179ක මුදලක් ද, අඟල් 12.9 මාදිලිය ඩොලර් 199ක මුදලක්ද ලෙස මිළ ගණන් සඳහන් වෙනවා.

Apple සමාගමේ පරිසර හිතකාමී වැඩපිළිවෙල

Apple සමාගම ඔවුන්ගේ ආයතනය පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යන බව සනාථ කිරීම උදෙසා මෙවර එළිදක්වන ලද MacBook Air එක සහ Mac Mini එක සඳහා යොදාගන්නා ලද ඇලුමිනියම් සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් බව පෙන්වා දුන්නා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා නිළ Apple වෙබ් අඩවිය භාවිතා කළ හැක.