YouTube කියල කියන්නෙ මසකට ලොව පුරා බිලියනයක් පමණ දෙනා භාවිතා කරන්නා වූ Google සමාගමට අයිති Video Streaming සේවාවක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නෑ.

ඉතින් මෙවැනි විශාල පිරිසක් YouTube භාවිතා කිරීම නිසාම බොහෝ Content Creators ලා ප්‍රමාණයක් YouTube සමග එකතු වෙලා ඉන්නවා වගේම ඔවුන් එකිනෙකා අභිබවා යාමට එනම් තම Views ප්‍රමාණය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම යොදනු ලබනවා.

මේ නිසාම ඇතැම් YouTube Content Creator වරුන් තම නිර්මාණයන්, ‍එය මුලින් දකින්නා ආකර්ශන වෙන ලෙස thumbnail සකස් කීරීමට පෙළබෙන නමුත් එහි අන්තර්ගතය නම් thumbnail එකේ ඇති ආකාරයේ වැදගත්කමක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඉතින් මේ හේතුව නිසාම බොහෝ වෙලාවට විඩියෝ නරඔන්නන් thumbnail එකට රැවටී තම කාලය වගේම සැළකිය යුතු Data ප්‍රමාණයක් ද නැති කර ගන්නා අතර මේ අත්දැකීම ඔබටත් ඇතුවාට සැකයක් නැහැ.

ඉතින් මේ ගැටලුවට යම්තාක් දුරට විසදුමක් ලෙස YouTube වෙබ් අඩවිය භාවිතා කරන්නන් හට අදාල Video මතට Mouse Point එක ගෙන ගිය විට Video එකෙන් කොටසක් දැකගත හැකි වන ලෙස සකසා තිබීම පෙන්වා දෙන්න පුලුවන්.

නමුත් YouTube Mobile App භාවිතා කරන්නන් හට මෑතක් වන තුරුත් මේ පහසුකම ලැබී තිබුනේ නෑ.

කොහොම වුණත් මෙයට විසදුමක් ලෙස මීට මාස 6 පමණ පෙර YouTube Premium subscribers ලා, එනම් මුදල් ගෙවා ලබාගත හැකි YouTube සේවාව ලබා ගන්නන් හට Auto Play නමින් නව පහසුකමක් හදුන්වාදෙනු ලැබුවා.

ඉතින් මේ පහසුකම හරහා ඔබ YouTube App එකේදී පහලට scroll කරන විට Audio රහිත Video Auto-play වීම සිදුවන අතර ඔබ Auto caption පහසුකම On කර ඇත්නම් captions බලාගන්නත් හැකියාව ලැබෙනවා.

ඒ වගේම තවත් අයට ඇතිවෙන්න පුලුවන් ගැටලුවක් තමයි මේ විදිහට YouTube Video එක Auto Play වෙනවා නම් thumbnail අවශය නෑ නේද කියන එක. ඇත්තටම ඒ ගැටලුවටත් YouTube සමාගම බොහොම හොඳ විසඳුමක් ලබා දී තිබෙනවා.

මෙහිදී Video එක Auto Play වෙන්න පටන් ගන්නේ ඔයා ඒ Video එකට කැමතියි කියලා YouTube App එකට තේරුනොත් විතරයි. ඒ කියන්නෙ සරළව ඔයා යම් කිසි විඩියෝ එකකට කැමතියි වගේ නම් ඔයා පහළට Scroll එක නවත්වලා පොඩි වෙලාවක් thumbnail එක දිහා බලනවා.

ඒ විදිහට ඔයා පොඩි කාලයක් තැනක නැවතිලා සිටියහොත් මේ විදිහට Video එක Auto-play වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පහසුකම හරහාත් අපේ Data හා කාලය ඉතුරු කර ගන්න හැකියාව ලැබෙනවා.

ඒ කොහොම නමුත් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ විදිහට Video Auto-play වෙනකොට අපේ Data ඉතුරු වෙන්නෙ කෙ‍හොමද කියන එක.මේ පහසුකම නිර්මාණය කරන විට ඔවුන් මේ data භාවිතය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් වෙලා තිබෙනවා.

ඒ වගේම එයාල පෙන්වා දෙන ආකාරයට මේ පහසුකම තමන් කැමතිනම් Off කර තබන්නත් නැතිනම් Wi-Fi ඇති ස්ථානයකදී පමණක් මෙම පහසුකම වැඩකරන ලෙස සකස් කරන්නත් භාවිතා කරන්නාට අවස්ථාව ලබා දීලා තිබෙනවා.

මේ පහසුකම දැන් සියලුම YouTube App භාවිතා කරන්නන්ට ලබාදීම සුදානම් බවත් ඉදිරි සති කිහිපය තුළ මෙය සියළුදෙනා හටම ලබා දීමට කටයුතු කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5Google වෙබ් අඩවිය, Android Community වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.