ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර පවතින තරඟය පිළිබඳව අපි වරින් වර ඔබ වෙත තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා ඔබට මතක ඇති.

Samsung, Huawei හා Apple යන සමාගම් කාලයක් තිස්සේම අනෙක් සියලුම නිෂ්පාදකයන් අභිබවා ජංගම දුරකථන ව්‍යාපාරය තුල සිය අණසක පැතිරවීමට සමත් වුවත් Huawei සමාගමේ ප්‍රබල පසුබෑම හමුවේ මේ වන විට මෙම ලැයිස්තුව සෑහෙන දුරට වෙනස් වී තිබෙනවා.

මීට පෙර Samsung හා Apple හැරුණුවිට, ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්ව සිටියේ BBK electronics සමාගමයි.

කොහොම වුණත් ඔන්න දැන් නවතම වාර්තා පෙන්වා දෙන පරිදි, BBK electronics සමාගම හා Apple සමාගමද අභිබවා ගොස්, ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වීමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා.

2021 වර්ෂයේ දෙවන කාර්තුව වන විට සමස්ත වෙළඳපොලෙන් 19% ක් හිමිකරගනිමින්, Samsung සමාගම තවමත් පෙරමුණ ගෙන සිටින නමුත් ඔවුන්ගේ වෙළෙඳපොළ වර්ධනය දැක්වෙන්නේ 15% ක් තරම් පහළ අගයකයි.

Xiaomi සමාගම වෙළෙඳපොළෙන් 17% ක ප්‍රමාණයකට හිමිකම් කියද්දී, 2020 දෙවන කාර්තුව ට සාපේක්ෂව ඔවුන්ගේ වර්ධනය 83% ක් තරම් අතිවිශාල අගයක පවතිනවා.

ලතින් ඇමෙරිකානු රටවල් වල 300%ක ප්‍රමාණයකින් ද, අප්‍රිකානු රටවල් වල 150%ක ප්‍රමාණයකින් ද, බටහිර යුරෝපයීට රටවල් වල 50%ක ප්‍රමාණයකින් ද වශයෙන් තම නිශ්පාදන අලෙවි කිරීම වැඩි කරගැනීමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා.

මේ නිසා බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඉතාම ඉක්මනින් Samsung සමාගම අභිබවා ගොස්, Xiaomi සමාගම ලෝකයේ විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වනු ඇති බවයි.

මෙහිදී Apple සමාගම 2020 දෙවන කාර්තුව ට සාපේක්ෂව 1% ක පමණක් වර්ධනයක් පෙන්නුම් කරමින්, සමස්ත වෙළඳපොලෙන් 14% ක් හිමිකරගෙන තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා.

Canalyis ආයතනය විසින් කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරනු ලබන මෙම වාර්තාවට අනුව, මේ වන විට වෙළඳපොලට නිකුත් කරනු ලබන ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රමාණයෙහි, 12% ක සමස්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, ලොව පුරා බලපා තිබෙන COVID-19 වෛරස තත්ත්වය තරමක් දුරට සමනය වී තිබීම මීට හේතුව වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම Xiaomi සමාගමේ නිශ්පාදන වෙළඳපොලෙහි අලෙවි කරනු ලබන මිලෙහි සාමාන්‍යය (average) අගය ගතහොත් Samsung සමාගමේ නිශ්පාදන වල මිලට වඩා 40%ක් මෙන්ම Apple සමාගමේ නිශ්පාදන වලට වඩා 75%කින් ද අඩු බවක් දැකගත හැකි වෙනවා.

Xiaomi සමාගම සම්බන්ධයෙන් ගත්කල, ගෙවන මුදලට ඉතාම ඉහළ වටිනාකමක් ලබාදෙන devices නිකුත් කිරීම හා ඔහුගේ Sub brand වෙන Poco හා Redmi, ඉන්දියාව ඇතුළු අඩු ආදායම් ලබන රටවල අතිශය ජනප්‍රිය වීම සමාගමේ වර්ධනයට ඉවහල් වී ඇති බව පෙන්වා දිය හැකිය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Canalys වෙබ් අඩවිය භාවිතා කළ හැක.