Autonomous, එහෙම නැතිනම් කාර්ය මණ්ඩලයකින් තොරව ස්වයංක්‍රීයව යාත්‍රා කරන නෞකා පිළිබඳ තොරතුරු දැනටත් වසර කිහිපයක් පැරැණි වුවත්, මෙම හැකියාවෙන් සමන්විත Fully Electric නෞකාවක් පිළිබඳ තොරතුරු පළමු වරට නෝර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

Yara Birkeland නමින් හඳුන්වා තිබෙන මෙම යාත්‍රාව නෝවීජියානු සමාගමක් වන Yara International සමාගම විසින් නිෂ්පාදනය කරමින් සිටින අතර, මෙම යාත්‍රාව සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරනවා මෙන්ම, එය Crew-less, එහෙම නැතිනම් නෞකාව තුල සිටින කාර්ය මණ්ඩලයකින් තොරව ස්වයංක්‍රීයව යාත්‍රා කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.

මෙහි නිර්මාණ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුවහොත් ලබන වසර අවසානයට පෙර නොර්වේ රාජ්‍යයේ නගරයන් දෙකක් වන" Herøya" සහ "Brevik" අතර සිය පළමු යාත්‍රා කිරිම සිදු කරනු ඇති අතර, එම ගමනේ සෑම චලනයක්ම Data control centers තුනක් මගින් නිරීක්ෂණය හා පාලනය සිදු කරනු ඇති.

7MWh ක බැටරියකින් බලය සපයන මෙම යාත්‍රාවට 13 knots ක, එනම් පැයට කිලෝමීටර 15ක වේගයෙන් යාත්‍රා කළ හැකි අතර, එක් වරකට බහාලුම් (containers) 60 ක් රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා.

මෙම යාත්‍රාව මඟින් මෙම නගර දෙක අතර වාර්ෂිකව සිදුවන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ලොරි රථ ගමන් වාර 40,000 ක් පමණ ආවරණය කිරීමට සමත්වනු ඇති අතර, එමඟින් Nitrogen Oxides හා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සැලකිය යුතු අගයකින් අඩුකර ගැනීමට අපේක්ෂිතයි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (IMO) අනුව ලොව මුළු හරිතාගාර වායු විමෝචනයෙන් 2%-3% ත් අතර ප්‍රමාණයක් නැව් කර්මාන්තය විසින් නිර්මාණය කරන නමුත්, නෞකා ගමනාගමනය ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍ය වෙනවා.

එමෙන්ම වාර්තා වලට අනුව වෙළදාම් කටයුතු වලින් 90% ක් ම මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන අතර, වාර්ෂිකව සමුදුරු තරණය කරන නෞකා ප්‍රමාණය 90,000 ඉක්මවනවා.

2015 පැරිස් දේශගුණික සම්මුතියට නෞකා ගමනාගමනය ඇතුළත් නොවූ නමුත්, IMO සංවිධානයට අනුබද්ධ රටවල් විසින් 2018 දී තීරණය කලේ 2008 ට සාපේක්ෂව, 2050 වන විට නෞකා ගමනාගමනය ආශ්‍රිතව සිදුවන කාබන් විමෝචනය 50% කින් අඩු කිරීමටයි.

එම ඉලක්කය කරා යන ගමනේදී මෙවැනි fully electric vessel සුවිශාල දායකත්වයක් ඉටු කරනු ඇති අතර, Yara International සමාගමට 2022 වන විට Yara Birkeland යාත්‍රාව දියත් කිරීමට හැකියාව ලැබුණොත් එය, සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් බවට පත්වෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.