2014 වර්ෂයේදී Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන Facebook app එකෙන් Chat පහසුකම ඉවත් කිරීමට කටයුතු කළ අතර, එය බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වූ බව මතක ඇති.

මේ අනුව සියළුම Facebook පරිශීලකයින් හට messages යැවීම සහ calls ලබාගැනීම සඳහා තවත් app එකක් download කරගැනීමට සිදු වුණා.

කොහොම නමුත් මේ වන විට video සහ voice calling පහසුකම නැවතත් ප්‍රධාන Facebook app එකට අන්තර්ගත කිරීමට කටයුතු කරමින් සිටින අතර, අගෝස්තු මස 31 වැනි දින සිට මෙම පහසුකම තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලබාදී පරීක්ෂා කිරීමට Facebook සමාගම සූදානමින් සිටිනවා.

Messenger යනු වෙනම app එකක් හරහා ලබාදිය යුතු option එකක් නොවන බවත්, එය ප්‍රධ‍ාන සේවාවේ ඇතුලත් විය යුතු option එකක් බවත් Facebook සමාගම තේරුම් ගනිමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය පෙන්වාදෙන අතර ඉදිරියේදී Messenger හි තාක්ෂණයන් භාවිතා කරමින් එය Instagram, Oculus වැනි සේවාවන් වලට ද ලබාදීමට කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කරනවා.

මේ හරහා app එකින් එකට මාරු නොවී පහසුවෙන් එකිනෙකා අතර communicate කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Facebook සමාගම අපේක්ෂා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.