රෝහල් වලට හැකර්වරුන් විසින් පහරදීමේ සිදුවීම් මේ වන විට වර්ධනය වෙමින් තිබෙන අතර මෙහි ආසන්නතම සිදු වීම පසුගියදා ජර්මනියෙන් වාර්තා වුණා.

ජර්මනියේ Düsseldorf විශ්වවිද්‍යාල සායන රෝහලට එල්ල වූ මෙම හැකර් ප්‍රහාරය නිසා හදිසි අනතුරු නිසාවෙන් පැමිණෙන ‍රෝගීන් ප්‍රතිකාර වලට යොමු කිරීමට නොහැකි වී ඇති අතර, එම රෝගීන් තවත් 30km පමණ දුරකින් පිහිටි මීළඟ රෝහලට යැවීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වෙනත් රෝහලක් වෙත මාරු කර යැවීමට කටයුතු කළ රෝගීන් අතර අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාවක් පැයක් පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර නොලැබුණු නිසා මියගිය බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබෙනවා.

රෝහලකට එල්ල වූ හැකර් ප්‍රහාරයක් නිසා ලොව සිදුවූ පළමු මරණය ලෙස මෙම සිදුවීම වාර්තා අතරට එක් වන අතර ජර්මානු පොලිසිය විසින් Düsseldorf රෝහල් හැකර්වරුන් සම්බන්ධ කරගෙන අදාල කප්පම් උත්සහය වලක්වාගැනීම සමත් වී තිබුණා.

මෙම හැකිං ප්‍රහාරය රෝහල් ඉලක්ක කරගෙන මෙහෙයවූ එකක් නොවන අතර, අසළ ඇති විශ්වවිද්‍යාලය ඉලක්ක කරගෙන දියත් කළ හැකිං ප්‍රහාරයක් බවත්, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රෝහලට බව බළධාරීන් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාල හැකර්වරුන් විසින් එම ප්‍රහාරය නැවැත්වීමට ද කටයුතු කළ බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Woman dies during a ransomware attack on a German hospital
A German hospital had to divert patients to other facilities during a cyberattack and a woman died after she was sent away. It may be the first death directly linked to a cyberattack on a hospital.

මෙම හැකිං ප්‍රහාරය සිදු කර තිබුණේ Citrix network gateways වල පැවති ආරක්ෂක දුර්වලතාවයක් භාවිතා කරගෙන රෝහලේ system එකට හැකර්වරුන් හට ඇතුළු වීමට හැකියාව ලැබීමෙන් වන බව පසුව අනාවරණය වුණා.

කොහොම නමුත්, මෙම සිදුවීමට දිනයකට පෙර ජර්මානු රාජ්‍යය cybersecurity agency එක, එහෙමත් නැතිනම් BSI ආයතනය විසින් Citrix network gateways වල ආරක්ෂක දුර්වලතාවයක් (CVE-2019-19871) පවතින බවත්, එය හැකි ඉක්මණින් patch කරගන්නා ලෙසත් සියළුම ජර්මානු ආයතන වලට නිවේදනයක් නිකුත් කර තිබෙන බව ද වාර්ථා වෙනවා.

කප්පම් ලබා ගැනීමේ අරමුණින් රෝහල් වලට හැකර්වරුන් විසින් පහරදීම මේ වන විට වැඩි වී තිබෙන අතර, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු ලොව ප්‍රමුඛ පෙලේ රටවල් වල, දහස් ගණනක් වූ රෝහල් මේ වන විට මෙම අනතුරට මුහුණ දී තිබෙනවා සේම එවැනි අතැම් අවස්ථා වලදී අදාල කප්පම් මුදල් ඩොලර් මිලියන ගණන් වලින් අදාල හැකර්වරුන්ට ගෙවීමටද සිදු වී තිබුණා.

රෝහල් වල ඇති යල්පැන ගිය පැරණි පරිගණක හා system නිසා හැකර්වරුන්ට ඒවායේ ඇති රෝගීන්ගේ දත්ත හා වෙනත් වැදගත් තොරතුරු ලබා ගැනීම පහසු වී තිබෙන අතර ඔවුන් ඒවා ප්‍රාණ ඇපකරුවන් සේ තබාගෙන කප්පම් ඉල්ලීම හෝ වෙනත් නීති විරෝධී කටයුතු වලට අවසර ඉල්ලීම සිදු වන බව වාර්තා වෙනවා.

පසුගියකාලයේ COVID- 19 වසංගත තත්ත්වය නිසා මෙම ප්‍රහාර වල යම් අඩුවීමක් දක්නට ලැබුණ ද දැන් යලිත් ඒවා වැඩි වීමට පටන් ගෙන ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කොහොම උනත් ජර්මනිය විසින් මිනී මැරීමේ චෝදනා යටතේ මෙම හැකර්වරුන් ට විරුද්ධව නඩු පැවරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති නමුත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම බොහෝ දුෂ්කර වනු ඇති බව අන්තර්ජාල අපරාධ වැලැක්වීම සම්බන්ධව කටයුතු කරන බොහෝ විශේෂඥයන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, Wired වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.