Windows 11 නිල වශයෙන් නිකුත් වී ඇති නමුත් මේ වන විට එහි ඇති විවිධ ගැටළු පිළිබඳව ලොව පුරා පරිශීලකයින් වාර්තා කිරීම ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම ඔබට AMD Ryzen processor එකක් සහිත device එකක් තිබේ නම්, ඔබ Windows 11 වලට upgrade කිරීම මඳක් ප්‍රමාද කිරීම නුවණට හුරු වන අතර, AMD සමාගම කියා සිටින්නේ Windows 11 වල ඇති ගැටළුවක් නිසාවෙන්  එහි Chips වලට නව මෙහෙයුම් පද්ධතිය සමඟ performance 15% දක්වා අඩු විය හැකි බවයි.

AMD සමාගම සහ Microsoft සමාගම එකතු වී Windows 11 සමඟ AMD Processor වල ඇති වන ගැටළු දෙකක් සොයා ගෙන තිබේ. පළමු දෝෂය වන්නේ Windows 11 මඟින් L3 Cache latency එක තුන් ගුණයකින් වැඩි කිරීමට හේතු විය හැකි බවයි.

AMD සමාගම පවසන්නේ මෙම ගැටළුව බොහෝ විට සාමාන්‍ය මෘදුකාංග සඳහා 3% - 5%ත් අතර performance drop එකක් ද, eSports සඳහා භාවිතා වෙන games වලදී 10% - 15% අතර ප්‍රමාණයක performance drop එකක් ද බළාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ නමුත් මෙම මස අවසානය වන විට මෙම ගැටළුව සඳහා විසඳුමක් ලබාදීමට Microsoft සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර, ඔබත් AMD Ryzen CPU එකක් භාවිතා කරන්නෙ නම්, ඒ දක්වා Windows 10 වල රැඳී සිටිම නුවණට හුරු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මීට අමතරව Windows 11 මෙහෙයුම් පද්ධතියේ ඇතුලත් වන අලුත් File Explorer එකෙහි memory leak එකක් ඇති බව ද ලොව පුරා පරිශීලකයින් වාර්තා කරනවා.

Memory leak එකක් යනුවෙන් හඳුන්වන්නේ යම්කිසි program එකක් run වීම සඳහා RAM එකෙන් ඉඩ ප්‍රමාණයක් භාවිතා කර, එය close කල පසුව එම ඉඩ ප්‍රමාණය නැවත release නොකිරීම නිසා ඇති වන ගැටළුවකි.

මේ නිසාවෙන් File Explorer එක open කර close කළ විට ඒ සඳහා භාවිතා කළ RAM ප්‍රමාණය නැවත පරිගණකය reboot කරන තුරු භාවිතා කිරීමේ හැකියාව අහිමි වෙනවා. පරිගණකය reboot වන වේලාව දක්වා මේ හරහා ටිකෙන් ටික පරගණකය මන්දගාමී වන බවක් අත්විඳියහැකි වෙනවා.

Windows Explorer Memory Leak (IMPORTANT) PLEASE UPVOTE THE FEEDBACK ON FEEDBACK HUB from Windows11

මෙම ගැටළුව Windows 11 version 22000.194 එක තුළ දැකගත හැකි වන බව PC Gamer වෙබ් අඩවිය සනාථ කරන අතර, Task Manager එක හරහා Windows 11 භාවිතා කරන ඕනෑම කෙනෙකු හට මෙම ගැටළුව නිරීක්ෂණය කළ හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව විශේෂයෙන්ම අඩු RAM එකක් ඇති devices භාවිතා කරන්නේ නම්, Windows 11 වෙත දැන්ම update කිරීම එතරම් සුදුසු නොවන බව ඔබට වැටහෙන්නට ඇති.

කෙසේ නමුත් ඉදිරි මාසයක පමණ කාලය ඇතුලත මෙවැනි critical ගැටළු සියල්ලක්ම පාහේ විසඳීමට Microsoft සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි අතර, සාමාන්‍යයෙන් Windows 11 වල හොඳම අත්දැකීම ලබාගැනීම සඳහා තව ටික කාලයක් බලා සිටීමට සිදු වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ PC Gamer වෙබ් අඩවිය භාවිතා කළ හැක.