Card Skimmers ලා ගැන ලොව හතර වටින් වාර්ථා වුවත් මේ දක්වා ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව වගේ රටකට ඉන් ලොකු බලපෑමක් එල්ල වුණේ නෑ.

නමුත් ගෙවුණ සතියේ ලංකාව තුළ Card Skimming හැකිං ප්‍රහාරයන් ගණනාවක් වාර්ථා වුණු බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

Card Skimming කියන්නේ මොකක් ද?

අපි බොහෝ වෙලාවට අපේ මුදල් ගණුදෙනු වලින් බොහෝ ප්‍රමාණයක් සිදු කරගැනීම සඳහා ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර, එහෙමත් නැතිනම් ATM යන්ත්‍ර භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එය පහසුයි මෙන්ම කාලය ඉතුරු වෙන ක්‍රියාවලියක්.

එසේම ලංකාව පුරාම පවතින බැංකු ජාල වලින් වඩාත් ව්‍යාප්ත ලෙසින් ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර සේවාවන් ලබාදෙනවා. එසේම ජාත්‍යන්තර ගණුදෙනු වලට ලංකාවේ ටෙලර් යන්ත්‍රයන් විවෘත වීම හේතුවෙන් ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ද විශාල වශයෙන් මෙම යන්ත්‍ර හරහා සිය ගණුදෙනු කටයුතු සිදුකරගන්නවා වර්ථමානයේ දැකගත හැකියි.

Card Skimming හැකිං ප්‍රහාරයකදී සිදුවන්නේ මෙම ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර වල ඇති කීබෝඩ් එක හරහා ඔබගේ ඔබ විසින් ඇතුළත් කරන ඔබගේ PIN අංකය රහසිගතව ලබාගැනීමයි. එහිදී ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ සුවිශේෂී දෘඩාංගමය කොටස් හැකර්වරුන් විසින් භාවිතා කරන බව පෙනී යනවා.

විශේෂයෙන්ම පිටතට නොපෙනෙන ලෙසින් මෙම දෘඩාංග කොටස් කීබෝඩ් එක මත අලවා තිබෙන්න පුලුවන්. ඒ තරමටම තාක්ෂණය අද දියුණුයි. මෙම හැකිං ප්‍රහාරයන්ගෙන් ලබාගන්නේ PIN අංකයම පමණක් නොවේ. කාඩ්පතේ ඇති සියළුම තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් සිදු කරන Card Skimming හැකිං ප්‍රහාරයන් මේ වන විට දැකිය හැකියි.

එසේම ඔබ ඔබගේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ හෝ ඒ ආසන්නයේ ඔබගේ කාඩ්පතින් තොරතුරු ලබාගත හැකි මට්ටමට දියුණු කළ රහසිගත දෘඩාංග කොටස් අලවා හෝ ඇතුළත් කර තිබිය හැකියි. ඒ හරහා කාඩ්පත් වල සියළු විස්තර හැකර්වරුන් විසින් ලබාගන්නවා.

මේ වන විට අනතුරට පත් වී ඇති බැංකු ගැන

මේ වන විට ශ්‍රී ලංකාව ඇතුලත පහත සදහන් බැංකු ජාල වලින් මෙම Card Skimmer ආකාරයේ හැකිං ප්‍රහාරයන් වලින් මුදල් සොරාගෙන් තිබෙන බවට LankaClear ආයතනය පෙන්වා දෙනවා.

  • Commercial Bank
  • Nations Trust Bank (NTB)
  • Nations Development Bank (NDB)
  • Amana Bank
  • Sampath Bank

එනමුත් මේ සම්බන්ධයෙන් තවමත් විවෘත මාධ්‍ය හරහා ප්‍රකාශයන් නිකුත් වී නැතත් LankaPay (LankaClear) ආයතනය විසින් අවවාද නිකුත් කර තිබෙනවා.

මෙම බැංකු වලින් Commercial Bank එක සහ Amana Bank එක, තමන්ගේ ATM ජාලය හරහා මුදල් සොරාගෙන තිබෙන බවට පිළිගෙන තිබෙන අතර Nations Trust Bank (NTB) බැංකු ජාලය සිය ATM යන්ත්‍ර සමහරක් අක්‍රීය කොට මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්ථා වෙනවා.

මේවායෙන් ප්‍රවේශම් වෙන්නේ කොහොමද?

දැන් ඔබ කාඩ්පත් භාවිතා කිරීම සම්බන්ධයෙන් බියෙන් පසුවෙනවා ද? ඔයාගේ card එකෙනුත් මේ විදිහේ නොහඳුනන ආකාරයේ transaction සිදුවෙනවා ද? එසේ නම් හොදම ක්‍රමය කාඩ්පත් අක්‍රීය කර තාවකාලිකව හෝ නැවත බැංකු හරහා මුදල් මගින් ගණුදෙනු කිරීමයි.

එසේම mobile banking alerts දැන් සෑම බැංකුවකින්ම ලබාදෙන නිසා එය active කරගැනීම වැදගත්. මොකද මුදල් ලබාගැනීමකදී ක්ෂණිකව එය SMS හරහා ඔබට දැනුවත් වන නිසා.

එසේම මෙම හැකර්වරුන් විසින් ඇතුළත් කරන ව්‍යාජ කීබෝඩ් හදුනාගත හැකියි. ඒ නිසා වෙනදා නොමැති වෙනසක් ATM යන්ත්‍රයේ පවතී නම් ඒ බව එහි නිලධාරීන්ව දැනුවත් කිරීම වැදගත්.

බැංකු වල පමණක් නොව අපගේ කාඩ්පත භාවිතා කරන වෙන ඕනෑම ස්ථානයකදී අපිව මේ ආකාරයේ Card Skimming හැකිං ප්‍රහාරයන් වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් සුපිරි වෙළදසැල් වලදී මෙන්ම සුපිරි ආපනශාලා අවන්හල් වලදී වුවත් මෙය සිදුවිය හැකියි.

මේ වන විට තත්ත්වය පාලනය කළ හැකි බව මෙම ආයතන වලින් පෙන්වා දුන්නත් අවධානයෙන් සිටීම මගින් මේ ආකාරයේ වංචා වලට හසුවීමේ අවධානය අඩු කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ReadMe.LK වෙබ් අඩවිය, Dailymirror වෙබ් අඩවිය හා FT.LK වෙබ් අඩවිය භාවිතා කළ හැක.