ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැතත්, Waze යනු Google සමාගමට අයිති navigation, එහෙමත් නැතිනම් මග පෙන්වීමට සහය දක්වන සේවාවක් වන අතර ගමන් බිමන් අතරතුරදී වැදගත් වන තොරතුරු දැනගැනීම සඳහා පහසුකම් සලසා දෙන මෙම app එකට පසුගිය දා ඔවුනටම විශේෂ වූ අළුත්ම විශේෂාංගයක් එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් පහසුකම වන්නේ ඉදිරියේදී හමුවන දුම්රිය මාර්ග ගැන රියදුරන් කල්තියා දැනුවත් කිරීමේ විශේෂාංගයයි.

දුම්රිය මාරුවන ස්ථාන විශේෂයෙන් ඉස්මතු කල යුතු වන්නේ ඇයි?

මේ පහසුකම ලබාදීම හරහා Waze සේවාවේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉදිරියේ ළඟා වන දුම්රිය හරස් මාර්ගයක් පිළිබඳව රියදුරන්ගේ මූලික අවධානය යොමු කිරීම වන අතර මෙමගින් දුම්රිය හරස් මාර්ග සම්බන්ධ අනතුරු සංඛ්‍යාව අඩු කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

විශේෂයෙන්ම ප්‍රමාණවත් සංඥා ගේට්ටු හෝ දැල්වෙන විදුලි පහන් නොමැති හරස් මාර්ග වලදී මෙය ඉතාමත් වැදගත් වෙනවා.

ලොව පුරා ප්‍රධාන දුම්රිය ක්‍රියාකරුවන් සහ ස්වේච්ඡා Waze Map සකසන්නන් සමඟ සහයෝගයෙන් Waze ආයතනය මෙම අංගය ගොඩනගා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඊශ්‍රායලය, බ්‍රසීලය, කොලොම්බියාව, බෙල්ජියම, පෝලන්තය, හංගේරියාව, ආර්ජන්ටිනාව, චිලී, උරුගුවේ, ඉන්දුනීසියාව, මැලේසියාව, නවසීලන්තය, නෙදර්ලන්තය සහ අයර්ලන්තය යන රටවල් බොහොමයක මේ වන විටත් මෙම විශේෂාංගය ක්‍රියාත්මක වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Waze සිතියමට දුම්රිය හරස් අනතුරු ඇඟවීම් එක් කිරීමට ගත් තීරණය, එක්සත් ජනපද සෙනෙට් සභාවේ සහ එක්සත් ජනපද ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්‍ෂක පරිපාලනයේ (NHTSA) තීරණයකට සම්බන්ධයෙන් සිදු වූ කරුණක් වන අතර MTA Long Island Rail Road, Amtrak, SEPTA, Brightline, Operation Lifesaver Canada, Railway Association of Canada, CN, SNC, Regulatory Agency of Rail Transport of Mexico (ARTP) සහ Secretary of Communications and Transportation of Mexico වැනි ප්‍රධාන දුම්රිය ජාල ක්‍රියාකරුවන් විසින් ද මෙම විශේෂාංගය වෙනුවෙන් සහය දක්වනු ලබනවා.

පහත පියවර අනුගමනය කිරීම හරහා මේ පහසුකම enable/disable කරගැනීම සිදු කරගත හැක.

  1. Waze app එක open කර එහි Search මත tap කරන්න
  2. එහි ඇති Settings option එක මත tap කරන්න
  3. Map Display > Reports > Railroad crossing යන option එකට පිවිසෙන්න
  4. Alert me while driving යන විධානය enable/disable කරන්න

දුම්රිය මාර්ගය හරහා දැනට දුම්රියක් පසුකර යන්නේද නැතහොත් දුම්රිය මාර්ග බාධකය දැන් ක්‍රියාත්මක වන්නේ ද යන්න Waze app එක හරහා තවමත් ඔබව දැනුවත් නොකරන නමුත්, මේ අංග දෙකම අනාගතයේ දී Waze සේවාවට එකතු කිරීමට කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පසුගිය අගෝස්තු 12 වැනි දින සිට මේ අලුත් පහසුකම Android සහ iOS මත Waze app එක භාවිතා කරන්නන් හට ලබාගත හැකි බව Waze ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.