ලෝකයේ බොහෝ ස්ථාන අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්ත වන නමුත් අභ්‍යාවකාශය එලෙස සංචාරක ගමනාන්තයක් වනු ඇති බව කිසිවෙකු සිහිනයෙන් හෝ නොසිතන්නට ඇති.

කොහොම නමුත් එම සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට ලෝකයේ ප්‍රමුඛ පෙලේ තාක්ෂණික සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු කරමින් සිටින අතර Virgin Group සමාගමට අනුබද්ධ Virgin Galactic සමාගම මෙලෙස සංචාරකයින් අභ්‍යාවකාශයට රැගෙන යාම සම්බන්ධ ව්‍යාපෘතියක් සිදු කරන ප්‍රධාන පෙළේ සමාගමක් වෙනවා.

ඔවුන් විසින් අභ්‍යවකාශ සංචාර සඳහා යානයක් නිපදවමින් සිටින අතර VVS Unity නමින් නම් කර ඇති මෙම යානයේ අභ්‍යන්තරය කුමන ආකාරයක පෙනුමක් ගන්නේ දැයි එළිදැක්වෙන වීඩියෝවක් නිකුත් කිරීමට ඔවුන් පසුගියදා කටයුතු කර තිබුණා.

සංචාරකයන්ට වඩා ආරක්ෂිත සහ සුව-පහසු සංචාරයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙහි අභ්‍යන්තර නිමාව සකස් කර ඇති අතර පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් ඉවත්ව පහසුවෙන් අභ්‍යවකාශ ගත වීම සඳහා යානයේ බර අඩු කරගත හැකිවන ලෙස මෙම යානය නිපදවා තිබෙනවා.

සාම්ප්‍රදායික ගුවන් ගමන් තාක්ෂණයට බොහෝ සමාන ආකාරයට මෙම යානය ද නිපදවා ඇති අතර යානයේ සජීවී පියාසර දත්ත පෙන්වන Seat Back Display හා යානය අභ්‍යවකාශයේ විවිධ සීමා ඉක්මවා යන විට ඊට ගැළපෙන ආකාරයෙන් යානයේ Lights System එක වෙනස් වන පරිදි ද මෙය නිර්මාණය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම යානයේ අභ්‍යන්තරයේ සිට පෘථිවිය නැරඹීම සඳහා විශාල ජනේල 16ක් මෙම යානයට එකතු කොට ඇති අතර යානය අභ්‍යන්තරයේ සිට ඡායාරූප ලබාගැනීම සඳහා කැමරා 16 ක් ද මෙයට එක් කර තිබෙනවා.

මෙම සම්පූර්ණ සංචාරක ගමනේම තොරතුරු පිළිවෙලින් ඇතුළත් කොට, එනම් උදාහරණයක් ලෙස පළමු Intagram ඡායාරූපයේ සිට අභ්‍යවකාශ සංචාරය අවසන් වීම දක්වා වූ සියලු දේ පිළිවෙලට ඇතුලත් කර වීඩියෝවක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම කැමරා කැමරා උපකාරී වනු ඇති බව සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම Virgin Galactic සමාගම පවසන්නේ මේ වන විටත් සංචාරකයින් 600 දෙනකු පමණ සිය අභ්‍යවකාශ සංචාර සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

මේ අතර Sports හා Casual apparel නිපදවන සමාගමක් වන Under Armour සමාගම සමග එක්ව අභ්‍යවකාශ ගමන් සඳහා ඇඳිය හැකි නව ඇඳුම් කට්ටලයක් නිපදවීමට ද Virgin Galactic සමාගම කටයුතු කර ඇති අතර මෙහි විශේෂත්වය නම් අභ්‍යවකාශ සංචාරය අවසානයේ එම ඇඳුම් කට්ටලය අදාළ සංචාරකයාටම රැගෙන යාමට ඉඩ ලබාදීමට ඔවුන් තීරණය කර තිබීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, The Guardian වෙබ් අඩවිය සහ Space වෙබ් අඩවිය භාවිතා කළ හැක.