සමාජජාල සේවාවන් අතර Tumblr සේවාව කියන්නේ Yahoo සමාගමට අයත් සමාගමක් වන අතර මේ වන විට වසර 11ක් පමණ පැරණි සේවාවක් වෙනවා.

පසුගිය නොවැම්බර් 16 වැනිදා සිට ඔවුන්ගේ iOS App එක Apple App Store එකෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබූ අතර, මෙයට පැහැදිලි හේතුවක් මේ දක්වාම වාර්ථා වුණේ නැහැ. දිගින් දිගටම මාධ්‍ය සඳහා ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා Apple සමාගම සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවයි.

කොහොම නමුත් මේ වන විට මේ ඉවත් කිරීමට හේතුව මෙම සේවාවේ පරිශීලකයන්, බාළ අපචාර එහෙමත් නැතිනම් වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන්ගේ කාමෝද්දීපන photos සහ videos ඒ හරහා share කිරීමත්, Tumblr ආයතනයේ filters වලට ඒවා හසු නොවීමත් බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මෙලෙස මෙම සේවාවට එකතු කරනු ලබන images, National Center for Missing and Exploited Children (NCMEC) වැනි database අතර scan කර හඳුනාගැනීමට ඔවුන් කටයුතු සකස් කර තිබෙන බවත්, ඒවා එම අවස්ථාවේදීම ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත් වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියත් තවමත් මොවුන්ගේ App එක App Store වල දකින්නට ලැබෙන්නේ නැහැ.

කොහොම වුණත් Android භාවිතා කරන්නන් වෙනුවෙන් වන Google Play Store වල නම් මේ Tumblr app එක තවමත් ඒ ආකාරයෙන්ම තිබෙනවා.

මීට අමතරව මේ NSFW, එහෙමත් නැතිනම් නිරුවත් ඡායාරූප ආදිය තම platform එක මත share කිරීමට අවසර දීමේ සිද්ධියක් මුල් කරගෙන මීට ඉහතදී ද ඉන්දුනීසියානු රජය විසින් ඔවුන්ගේ රට තුල මේ Tumblr සේවාව භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

iOS සඳහා වූ Apple සමාගමේ උපදෙස් මාලාවේ මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබෙන අතර සෑම app එකක්ම මේ ආකාරයේ අසභ්‍යය දෑ ඉවත් කිරීමට හැකියාව ඇති filter එකකින් සමන්විය යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව Tumblr සතුව එවැනි filter පහසුකමක් තිබුණත්, එය එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව පෙනී යන අතර මේ දුර්වලතාවය මඟහරවා නැවත් එම app එක ලබා දෙන දිනයක් සඳහන් කිරීමට Tumblr සමාගම තවමත් අපොහොසත් වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Download.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.