පසුගිය අගෝස්තු මාසයේදී Cortana සහ Alexa එකිනෙකා සම්බන්ධ කිරීමට වගේම සැප්තැම්බර් මාසයේදී Microsoft Xbox වලට Amazon Alexa ගේ සහාය එකතු කිරීමට Microsoft සහ Amazon සමාගම කටයුතු කළා මතක ඇති.

මේ වන විට  Microsoft සමාගම Amazon සමාගම හා සම්බන්ධ වීමෙන් Skype සේවාව Amazon Alexa හරහා භාවිතා කළ හැකි ආකාරයේ සේවාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Alexa හරහා බළගැන්වෙන devices වලදී “Alexa, call {contact name} on Skype” යනුවෙන් විධානයක් ලබා දීම මගින් අදාල පුද්ගලයා හා Skype සංවාදයක යෙදීමට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව Echo Show වලදී voice ඇමතුම් අභිබවා යමින් video ඇමතුම් ද ලබාගතහැකි වන අතර Skype හරහා ජංගම දුරකථන හා ස්ථාවර දුරකථන වලට ඇමතුම් ලබාගැනීමේ පහසුකම ද මේ සමඟ එළිදක්වනු ලබනවා.

පළමු වරට Skype ගිණුම Alexa සමඟ සම්බන්ධ කරන්නන් හට පළමු මාස දෙකක කාලය ඇතුලත ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන සඳහා මිනිත්තු 200ක ඇමතුම් නොමිලයේ ලබාගැනීමේ හැකියාව ද Microsoft සමාගම විසින් ලබා දෙන බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා දැනුම් දී තිබෙනවා.

එමෙන්ම Microsoft Windows 10 වලට සහාය දක්වන Windows App එකක් හරහා Amazon Alexa ලොව පුරා Windows ධාවනය වන පරිගණක වෙත ගෙන ඒමටද Amazon සමාගම කටයුතු කර තිබෙන අතර ඇමෙරිකාව පුරා Microsoft Stores හරහා Amazon Echo Devices අලෙවි කිරීමට ආරම්භ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Skype වෙබ් අඩවිය භාවිතා කළ හැක.