TikTok app එක ඉන්දියාව වැනි රටවල් වල තහනම් කිරීමට ද කටයුතු කර ඇති පසුබිමක් තුළ එම සේවාව මිලට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මුල් කරගත් තාක්ෂණික දැවැන්තයෙකු වන Microsoft සමාගම සූදානම් වන බවට පසුගියදා වාර්ථා වුණා.

Microsoft සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය මුල දී සිය අප්‍රසාදය පළ කළ ද නවතම වාර්ථා වලට අනුව අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් මෙම ගනුදෙනුව කොන්දේසි කිහිපයක් මත සිදු කිරීමට අවසර ලබා දී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව Microsoft සමාගම විසින් මෙම ගනුදෙනුව සිදු කරන්නේ නම් එය සැප්තැම්බර් 15 වන දිනට පෙර අවසන් කළ යුතු බවත් එසේ නොමැතිනම් TikTok ඇමරිකාව තුල තහනම් කිරීමට පියවර ගන්නා බවත් Donald Trumph පවසා තිබෙනවා.

මීට අමතරව Microsoft සමාගම විසින් TikTok සේවාවේ කොටස් 30% ක් මිලදීගැනීම වෙනුවට සම්පූර්ණ සේවාවම මිලදීගැනීමට උත්සුක විය යුතු බව හා ගනුදෙනුවෙන් ලැබෙන ආදායමින් සැලකිය යුතු කොටසක් එක්සත් ජනපද භාණ්ඩාගාරය සතු විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.


TikTok සේවාව ඇමෙරිකාව තුළ අවහිර කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ ඇමෙරිකානු පුරවැසියන් මිලියන 100කට අධික ප්‍රමාණයක තොරතුරු මේ TikTok සේවාව හරහා චීන රජයේ ග්‍රහණයට හසු වන බව ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කිරීමයි.

කොහොම නමුත් TikTok සේවාවේ මව් සමාගම වන ByteDance සමාගම මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ ඇමෙරිකානු පරිශීලක දත්ත, ඇමෙරිකාවේ පවතින servers වලම "සේවක ප්‍රවේශය පිළිබඳව දැඩි පාලනයක් සහිතව" ගබඩා කර ඇති බවත් එය ByteDance සමාගම සමඟ සම්බන්ධ නොවන බවත් ය.

මේ අනුව Microsoft සමාගම සමඟ මේ ගිවිසුමට එළැඹුනහොත්, එහිදී සිදු වන්නේ TikTok ස‍ේවාවේ ඇමෙරිකාව තුළ සිදුවන සියළුම මෙහෙයුම් කටයුතු Microsoft සමාගම විසින් සිදු කිරීම වන අතර, මේ සේවාව හරහා ඇමෙරිකාවේ කිසිඳු පුරවැසියෙකුගේ දත්ත ඇමෙරිකාවෙන් පිට නොවී ආරක්ෂා කරගැනීමේ වගකීම තමන් බාරගන්නා බවත්, මෙලෙ‍ස වෙනත් රටවල් වල ගබඩා කර ඇති දත්ත (ඇත්නම්) ඒවා නැවත ඇමෙරිකානු servers වලට transfer කිරීමෙන් අනතුරුව අදාල sources වලින් මකා දැමීමට කටයුතු කරනු ලබන බවත් Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Trump says US owed ‘substantial’ money for TikTok acquisition deal

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් Microsoft සමාගම පවසන්නේ ByteDance සමාගම සමඟ සාකච්ඡා කර මෙම ගනුදෙනුව සැප්තැම්බර් 15 වන දිනට පෙර ද සිදු කිරීමට උත්සාහ ගන්නා බව ඔවුන් පෙන්වා දෙන අතර Donald Trump විසින් ප්‍රකාශ කර සිටින්නේ සැප්තැම්බර් 15 වැනි දිනට පෙර කිසියම් ක්‍රමයකින් මෙය සමථයකට පත් නොවුනහොත් TikTok සේවාව ඇමෙරිකාව තුල තහනම් කිරීමට කටයුතු කරනු ලබන බවයි.


කොහොම වුණත් පෞද්ගලික සමාගම් දෙකක් අතර සිදුවන ගනුදෙනුවකදී රජයට එහි යම් කොමිස් මුදලක් හිමිවිය යුතු යැයි කොන්දේසි පැනවීමෙහි ඇති සදාචාරාත්මකභාවය පිළිබඳ මේ වන විට Donald Trumph වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

සාමාන්‍යයෙන් එක්සත් ජනපද විදේශ ආයතන කමිටුව හරහා ගනුදෙනුවක් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කළ හැකි වුවද එය කපා හැරීමට බලයක් නොමැති බව වාර්ථා වන අතර මෙම පසුබිම තුළ Microsoft සමාගම හා ByteDance සමාගම අතර සිදුවන මෙම ගනුදෙනුවේ ඉදිරි දිශානතිය කෙසේ වේදැයි නිෂ්චිතවම පැවසිය නොහැකි බවද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.