ලෝකයේ එතෙක් මෙතෙක් බිහි කරන ලද වැඩිම ආදායමක් ලැබූ සිනමා පට 10 න් දෙකකම හිමිකරුවා වන James Cameron නම් විශිෂ්ට සිනමා නිර්මාණකරුවා පිළිබඳව ඔබ දැනටමත් බොහෝ තොරතුරු දන්නවා ඇති.

1997 දී James Cameron ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් කරන ලද 'Taitanic' සිනමාපටය හා 2009 දී නිකුත් වූ 'Avatar' යන සිනමාපට ද්විත්වය විසින් බිහි කරන ලද මෙම Box Office වාර්තා බිඳහෙළීමට සමත් සිනමා නිර්මාණ පසුකාලීනව බිහිවූයේ අතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක් පමණයි. ඒ නිසාම ලෝකයේ වැඩිම ආදායම් ලැබූ සිනමා පට 10 තුළ මෙම සිනමා පට දෙකම තවදුරටත් රැඳී තිබෙනවා.

මෙයිනුත් Avatar සිනමාපටය, සජීවී ත්‍රිමාණ තාක්ෂණය හා දෘශ්‍ය ප්‍රයෝග ඉතා ඉහළින් භාවිත කොට ලොව මෙතෙක් නිර්මාණය කරන ලද විශිෂ්ටතම සිනමාපටය ලෙස සැළකිය හැකි වෙනවා.

Pandora නැමැති ග්‍රහලෝකයක තිබෙන සුවිශේෂී ඛනිජ ද්‍රව්‍ය සොයා යන හමුදා කණ්ඩායමක් වටා මෙම චිත්‍රපටයේ ගෙතී තිබුණු අතර මෙම ග්‍රහලෝකයේ සිටින ස්වදේශී ජනවර්ගයක් වන 'නාවී' ගෝත්‍රිකයින් වනාන්තරය, ගහකොළ සහ සතා සීපාවුන් සමඟම බද්ධ වූ ජීවිතයක් ගත කර පිරිසක් වෙනවා.

ඔවුන් විසින් වාසස්ථානය කරගත් සුවිශේෂී දැවැන්ත වෘක්ෂයක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන අතර එම වෘක්ෂයට යටින් පිහිටා ඇති මෙම ඛනිජ නිධිය කොල්ලකෑම පිණිස පැමිණි හමුදා කණ්ඩායමක් හා මෙම ජනවර්ගය අතර ඇතිවන ගැටුම හා ඔවුන් එය ජයගන්නා ආකාරයත් මෙම සිනමාපටය තුළ ඇතුළත් වුණා.

මෙහිදී මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නිර්මාණය කරන ලද, විද්‍යාගාරයක් තුලදී පාලනය කළ හැකි නාවිවරයෙකු යොදාගෙන යුද්ධයකින් තොරව මෙම ප්‍රදේශය යටත් කරගැනීමට ග්‍රේස් නමැති විද්‍යාඥවරිය උත්සහ කලද නාවී ගෝත්‍රිකයින් ඊට කැමති වන්නේ නැහැ.

මේ නිසා හමුදා නායකයා ඔවුන් සමඟ යුද්ධයට යාමට තීරණය කරන නමුත් මෙම Pandora ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වය, ජෛව විවිධත්වය, හා එහි වටිනාකම අවබෝධ කරගන්නා මෙම ග්‍රේස් නැමැති විද්‍යාඥවරිය ඇතුළු හමුදා කණ්ඩායමේ කිහිප දෙනෙක් හා මෙම නාවි වරයාද 'නාවී' ගෝත්‍රිකයන් හට යුද්ධය ජයගැනීම සඳහා සහය දෙන නමුත් අවසානයේ යුද්ධය ජයගත්තද වී එයින් එම ජෛව පද්ධතියට අතිවිශාල හානියක් සිදු වන බව මේ චිත්‍රපටය හරහා ඔබ දකින්නට ඇති.

යුද්ධයෙන් පසුව Pandora ග්‍රහලෝකය නැවත ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ සිනමා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි අතර මේ නිසාම Avatar සිනමාපටයේ දෙවන කොටසක් පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියා.

එම බලාපොරොත්තු ඉටු කරමින් මේ වන විට Avatar චිත්‍රපටයේ දෙවන කොටස වන Avatar 2 සිනමා පටය 2022 වර්ෂය පමණ වන විට නිකුත් කිරීමට, මෙම සිනමා පටය නිර්මාණය කරන ලද 20th Century Fox සමාගම සූදානම් වෙමින් සිටිනවා.

මෙම නවතම සිනමාපටයේ ඇතැම් දර්ශන රූගත කිරීම මේ විටත් අවසන් කොට ඇති අතර ලෝකය මේ වන විට මුහුණ දී තිබෙන වසංගත තත්වය නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබුණු බව වාර්තා වුණා.

කොහොම නමුත් නවසීලන්තයේදී නැවතත් මෙම නවතම Avatar 2 සිනමාපටයේ රූපගත කිරීම් ආරම්භ වී ඇති බව දැනගන්නට ලැබෙන අතර එහි නිශ්පාදක Jon Landau මහතා පවසන්නේ දෘශ්‍ය ප්‍රයෝග සහිත දර්ශන දෙකක් මේ සතිය තුළ සිය කාර්ය මණ්ඩලය වෙත ප්‍රදර්ශනය කිරීමට James Cameron මහතා කටයුතු කළ බවයි.

Avatar 2 සිනමා පටයේ ඇතුලත් වන The Crabsuit එකක්

Avatar 2 සිනමාපටයෙන්  වැඩි කොටසක් Pandora හි පිහිටි සාගරය ආශ්‍රිත සිදුවීම් හා දර්ශන වලින් සමන්විත වන බවද වාර්තා වන අතර, එහි අන්තර්ගත වන Crabsuit එකක්, එනම් මිනිසෙකු විසින් පාලනය කරනු ලබන කකුළුවකුගේ හැඩයට සමාන වන submarine එකක concept art එකක් ද මේ වන විට අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.

එමෙන්ම Avatar සිනමාපටයේ කොටස් 5ක් පමණ නිකුත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඒ අනුව Avatar 2, 2022 දීත්, Avatar 3, 2024 දීත්, Avatar 4, 2026 දීත් හා අවසාන කොටස වන Avatar 5, 2028 දීත් නිකුත් කිරීමට නියමිත බව තොරතුරු වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Screenrant වෙබ් අඩවිය සහ CBR වෙබ් අඩවිය භාවිතා කළ හැක.