තමන් ලඟ දැනට පවතින ජංගම දුරකථන අංකය වෙනස් නොකර (Dialog, Mobitel, Hutch වැනි) තමන්ගේ සේවාදායකයා වෙනස් කිරීමේ පහසුකමක් ශ්‍රී ලංකාවටත් හඳුන්වාදීමට අවශ්‍ය මූලික කටයුතු ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇති බව ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා මේ වන විට වාර්ථා කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ලෝක බැංකුව යටතේ ඇති ආයතනික සංවර්ධන අරමුදලේ (IDF) අනුමැතිය සහිතව Mobile Number Portability නැතහොත් MNP නම් මෙම විශේෂාංගය ලංකාවට හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.

MNP සේවාව හඳුන්වාදීම මගින් පාරිභෝගිකයන් භාවිතා කරන දුරකථන අංකය වෙනස් නොකරම, එනම් උදාහරණයක් ලෙස ඔබ Dialog සිම්පතක් භාවිතා කරනු ලබන්නේ නම්, ඒ number එක වෙනස් නොකරම, Mobitel හෝ Hutch වැනි වෙනත් service provider කෙනෙක් වෙත මාරු වීමේ හැකියාව ලබාදීම මෙහි අරමුණ වන අතර මෙම සේවාව නිසා සමස්ත පාරිභෝගික ප්‍රතිලාභයට අදාළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ද TRCSL ආයතනය බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ලොව බොහෝ රටවල් වල මෙම හැකියාව පවතින අතර ඒ හරහා පරිශීලකයා හට තමන් කැමති package එකක් භාවිතා කිරීමට සම්පූර්ණ නිදහස ‍ලැබෙන අතර, වඩාත් තරඟකාරී සේවා වෙළඳපොලක් ද මෙමඟින් ඇති වෙනවා.

"අද, තමන්ගේ සේවාදායකයා මාරුකිරීමට අවශ්‍ය විටදී තමන්ගේ දුරකථන අංකයද වෙනස් කිරීමට සිදුවන අතර බොහෝ දෙනා තම ජංගම දුරකථන අංකය වෙනත් පුද්ගලයින් රාශියකට ලබාදී ඇති නිසාවෙන් එවැන්නන් හට එම කාර්‍යය ඉතා අපහසුයි"
~ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ශ මේනකා පතිරණ

මෙම ව්‍යාපෘතියේ උපදේශන කටයුතු  සඳහා අදාල Expression of Interest (EOI) එකක් ද මීට පෙරද TRCSL විසින් කැඳවා ඇත.

Mobile Number Portability - EOI - Telecommunications Regulatory Commission of Sri Lanka
::TRCSL-Telecommunications Regulatory Commission of Sri Lanka - The Regulator of Telecommunication Industry of Sri Lanka::

මූලිකව 2010 වසරේදී ද ආරම්භ වුණු මෙම MNP ව්‍යාපෘතිය 2014 වසරේදී පමණ නැවැත්වීමට කටයුතු යෙදී ඇත.

ReadMe.lk වෙබ් අඩවිය පෙන්වාදෙන පරිදී එකල එම ව්‍යාපෘතිය නැවැත්වීමට හේතුව නම්, මෙම සේවාව මගින් වැඩිපුර වාසි ලබන්නේ පසු ගෙවුම් පාරිභෝගිකයන් හට වන අතර 2014 වන විට සමස්ත පාරිභෝගිකයන්ගෙන් 10%ක් පමණ කුඩා ප්‍රමාණයක් පමණක් පසුගෙවුම් සබඳතා පවත්වාගෙන ගොස් තිබීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TRCSL ආයතනයේ නිළ Twitter ගිණුම සහ Dailymirror වෙබ් අඩවිය භාවිතා කළ හැක.