මේ වන විට ලොව ඇති බොහෝමයක් වෙබ් අඩවිය සහ web applications HTTPS මගින් ආරක්ෂා කර ඇතත්, තවමත් ඇතැම් වෙබ් අඩවි සාමාන්‍යය HTTP protocol එක භාවිතා කරමින් අනාරක්ෂිතව දත්ත් හසුරුවනු ලබනවා.

කොහොම නමුත් අන්තර්ජාලය HTTPS වෙතට පොළඹවා ගැනීමට Google ආයතනය ඔවුන්ගේ Google Chrome Browser එක මගින් විවිධ උපක්‍රම භාවිතා කරමින් විශාල උත්සාහයක් ගනු ලැබූ අතර, මේ වන විට එහි මීළඟ පියවර ලෙස, HTTPS හරහා submit නොවනු ලබන web forms සඳහා හඳුන්වාදීමට නියමිත බාධක කිහිපයක් ගැන වාර්ථා වෙනවා.

මේ අනුව https වෙබ් අඩවි වල ඇති, නමුත් http හරහා submit වීමට නියමිත web forms හඳුනාගෙන, ඒවා සඳහා Chrome Autofill පහසුකම අවහිර කිරීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

මීට අමතරව එවැනි form එකක් fill කිරීමට පරිශීලකයා කටයුතු කරනු ලබන අවස්ථාවකදී මෙම form එක හරහා submit කරනු ලබන තොරතුරු අනාරක්ෂිත බවට පරිශීලකයාව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලබනවා.

එසේ තිබියදී ද form එක fill කර එය submit කිරීමට කටයුතු කළහොත්, ඒ පිළිබඳව වැඩිදුර විස්තර සහිතව තොරතුරු සැපයීමට කටයුතු කරනු ලබන අතර, එයින් සිදුවිය හැකි අනතුර වලක්වාගැනීමට තවත් එක් පියවරක් එකතු කිරීමට ද මොවුන් සූදානම් වෙනවා.

මේ වන විට යම්කිසි form එකක් HTTPS වෙනුවට HTTP භාවිතා කරනු ලැබුවද, ඒ පිළිබඳව පරිශීලකයා හට දැනගැනීමට හැකියාවක් නොලැබෙන අතර විශේෂයෙන්ම address bar එකේ ඇති lock icon එක මත tap කලද, ඒ පිළිබඳව විස්තරාත්මකව දැනගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

Login credentials සහ passwords අවශ්‍ය වන සේවාවක් සඳහා පරිශීලකයෙකු ලියාපදිංචි වන්නේ නම් Chrome වල ඇති password manager එක තවදුරටත් ක්‍රියා කරන අතර Chrome 86 සංස්කරණය ඔක්තෝබර් මස 6 වැනි දින සිට stable සංස්කරණයක් ලෙස release කිරීමට Google සමාගම සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Chromium blog අඩවිය, Android Police වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.